රුපියල් 103 ක මිලකට මෙරටට ආනයනය කරන ඩීසල් ලීටරයක් රුපියල් 121 මිලට විකිණීමත්, රුපියල් 97 - 100 අතර මිලකට ආනයනය කරන පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 - 170 අතර මිලකට විකිණීමත් පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
තෙල් සංස්ථාව පාඩු ලබන බව පවසන කාරණාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව කී අමාත්‍යවරයා, පෙට්‍රෝලියම් බදු වැයකරන්නේ හා ඒවායේ අයිතිය ඇත්තේ කාටද යන්න දැනගැනීමට පාරිභෝගිකයාට අයිතියක් ඇතැයිද සඳහන් කළේය.
2014 පළමු මාස හය තුළ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 7000 ක පාඩුවක් අපේක්ෂා කළද, එය රුපියල් මිලියන 21,000 ක් වූයේ කෙසේද යන්න පිළිබඳව හා එම මාස 06 තුළ අතිරේක ලෙස ඉන්ධන ගැළපුම හා ගාස්තු වැඩිවීමෙන් හිමිවූ රුපියල් බිලියන 25 වැයකළ ආකාරය පිළිබඳවද ජනතාවට දැනගැනීමට අයිතියක් ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
රටට ආයෝජන ගෙන ඒමට සහ අපනයන වර්ධනය කිරීමට බලශක්ති මිල ගණන් පිළිබඳව විවෘත සූත්‍රයක් අවශ්‍ය බවත්, අද රටට විවෘත ඉන්ධන හා විදුලි අය ක්‍රමයක් අත්‍යවශ්‍ය බවත් රණවක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.