ජනාධිපතිවරණ සමයේදී එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ ගිවිසුම නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතුව තිබූ විශාල ඡන්ද ප්‍රමාණයක් අහිමිව ගිය බව වර්තමාන එ.ජා.ප. මහලේකම් කබීර් හෂීම් මහතා රහස් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත.
ඒ මහතාගෙන් රහස් පොලීසිය මෙම ප්‍රකාශය සටහන් කර ගෙන ඇත්තේ, එවකට විපක්ෂ නායකයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එවකට ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාජ අත්සන් සහිත ගිවිසුමක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළේ යැයි කියන චෝදනා මත අත්තනායක මහතාට එරෙහිව පවතින නඩුව හා සම්බන්ධව විමර්ශනය කිරීමටය.
සිය ප්‍රකාශයෙන් මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන ඇමති කබීර් හෂීම් මහතා තවදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ, පසුගිය වසරේ දෙසැම්බර් මස 22 අත්තනායක මහතා මාධ්‍යයට ඉදිරිපත් කර ඇති ගිවිසුමේ සඳහන් කරුණු තුළින් ජාතීන් අතර ආගමික වෛරීය හැඟීම් සහ සිංහල හා දෙමළ ජනයා අතර ජන වාර්ගික හැඟීම් ඇති වූ බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය විද්‍යුත් මාධ්‍යවල ප්රවෘත්ති අධ්යක්ෂවරුන්ගේද ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් කර ඇත.