ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (23දා) සහ හෙට (24දා) උදෑසන 8.30 සිට 4.15 දක්වා කාලය තුළ පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
මීට අමතරව 26 වැනිදා තැපැල් ඡන්දය භාවිත කිරීමේ විශේෂ දිනය ලෙසත්, 30 වැනිදා අවසන් දිනය ලෙසත් තැපැල් ඡන්ද විමසීම් කටයුතු සිදුවන බවද අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා සඳහන් කළේය.
තැපැල් ඡන්ද ප්‍රකාශය කිරීමට රාජ්‍ය සේවකයන් 541422 ක් සුදුසුකම් ලබා තිබෙන අතර, 26 වැනිදාට පොලිස් නිලධාරීන් වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇතැයි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මිට අමතරව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සහ තේරීම්භාර නිලධාරී කාර්යාලවල සේවය කරන පිරිස තැපැල් ඡන්දය භාවිත කිරීමේ දිනය ලෙස 30 වැනිදා නම්කර තිබෙන බවද මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
අද සහ හෙට පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීම නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයන් දහසකට අධික පිරිසක් යොදවා තිබෙන බවද පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මීට අමතරව ජංගම නිරීක්ෂණ රථ 35 ක් යොදවා තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
තැපැල් ඡන්ද විමසීම නිරීක්ෂණය කිරීම සඳහා තම සංවිධානයද නිරීක්ෂකයන් 640 ක් යොදවා ඇතැයි කැෆේ සංවිධානය සඳහන් කරයි.
මේ අතර, අදාළ තැපැල් ඡන්ද වීමසීමේ කටයුතුවලට ආරක්ෂාව සැපයීමට පොලිස් නිලධාරීන් 12,000 ක් යොදවා ඇති බවත්, එම නිලධාරීන්ගේ රාජකාරි කටයුතු අධීක්ෂණය සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් විශාල පිරිසක්ද යොදවා තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීවරයා හෝ තේරීම් භාර නිලධාරීවරයා විසින් යම් තැපැල් ඡන්ද විමසීමේ මධ්‍යස්ථානයකට වැඩිපුර පොලිස් ආරක්ෂාව අවශ්‍ය බවට ඉල්ලීමක් කළහොත් එම ඉල්ලීමට අනුව අමතර පොලිස් කණ්ඩායම් ලබාදෙන ලෙසට පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළට අමතරව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා අද (23දා) සිට ඡන්ද විමසීම අවසන් කරන දිනය දක්වා ක්ෂණික මාර්ග බාධක ඇති කිරීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
තැපැල් ඡන්ද විමසීමට අදාළව ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම, අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු ඇතුළු මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදුවුවහොත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.