තායිවානයේ නැගෙනහිර වෙරළ කලාපයෙන් ඊයේ (08දා) ඇතුළු වූ නෙපාර්ටැක් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 66 දෙනෙකු තුවාල ලබා තිබේ.
එරට වේලාවෙන් ඊයේ උදෑසන 6 ට පමණ නැගෙනහිර ටයිටන්ග් පළාතෙන් ඇතුළු වූ සුළි කුණාටුව හේතුවෙන් පැ.කි.මී. 198 ඉක්මවූ සුළං වාර්තා වූ බව එරට කාලගුණ බලධාරීහු පවසති.
මෙම ප්‍රබල චණ්ඩ මාරුතය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට කල්තියා එරට සහන කණ්ඩායම් කටයුතු කිරීමෙන් සිදුවීමට ගිය හානිය අවම කරගැනීමට හැකි වූ බවද කියයි.
කෙසේ වෙතත්, පුද්ගලයන් 15,000ක් පමණ ඔවුන්ගේ නිවාස අතහැර ගොස් තිබූ අතර, ගුවන් ගමන් වාර සියයකට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමටත්, පාසල් හා රජයේ කාර්යාල වසා දැමීමටත් කටයුතු කර තිබුණි. එමෙන්ම සුළි කුණාටුව නිසා නිවාස හා ගොඩනැගිලි රැසකට දැඩි අලාභානි සිදුව තිබූ බවද වාර්තා වෙයි.
මෙම සුළි කුණාටුව අද චීනය වෙත ඇතුළු වනු ඇති බව කාලගුණ අංශ පවසයි. කෙසේ වෙතත්, මේ වනවිට එහි ප්රචණ්ඩ බව ක්‍රමයෙන් අඩුව ඇති බවත්, එය මධ්‍යම ප්‍රමාණයේ සුළි කුණාටුවක් ලෙස චීනය වෙත ඇතුළු වනු ඇති බවත් කාලගුණ අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.