ත්රස්තවාදයට එරෙහි ශුද්ධ වූ යුද්ධය වෙනුවෙන් එක්සත් වන ලෙසත්, ද්විත්ව ප්රතිපත්තියක නොසිට ගෝලීය යක්ෂයාට එරෙහිව නැගී සිටින ලෙසත් රුසියාවේ ඕර්තඩොක්ස් පල්ලියේ ප්‍රධාන පූජක පැට්රියාච් කිරිල් ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියි.
බ්‍රිතාන්‍යයේ ඓතිහාසික සංචාරය අවසන් කරමින් රුසියානු ඕර්තඩොක්ස් පල්ලියේ ප්‍රධාන පූජක තැන මෙම ප්‍රකාශය සිදුකර තිබුණි.
"අද අපේ වීරෝධාර රණවිරුවන් මැදපෙරදිග සටනක නිරතව සිටිනවා. නමුත්, මේ සටන ආක්‍රමණයක්, අත්කර ගැනීමක් හෝ වෙනත් ජනකොටසක් වෙත කිසියම් දෘෂ්ටියක් ඇතුළු කිරීමට දරණ උත්සාහයක් නොවෙයි. ඒ වගේම මේ සටන කිසිදු රජයකට සහාය දක්වන සටනකුත් නොවෙයි. මෙය මැදපෙරදිගින් පමණක් නොවෙයි, සමස්ත මනුෂ්‍ය සංහතියෙන්ම යක්ෂයන් මුලිනුපුටා දමන සටනක්" යැයි කිරිල් මීට පෙරද පවසා තිබුණි.
ප්‍රධාන පූජක කිරිල් සිය සංචාරය අතරතුර බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින සහ ඇන්ග්ලිකන් පල්ලියේ ජ්‍යෙෂ්ඨතම පූජක ධුරය උසුලන කැන්ටබරි හි අගරදගුරු හිමියන්ද හමුවී ඇති බව බී.බී.සී.ය වාර්තා කරයි.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන් හා සමීප සබඳතා පවත්වන ප්‍රධාන පූජක කිරිල්, සිරියාව තුළ ක්‍රියාත්මක රුසියානු හමුදා මැදිහත්වීම අනුමත කරයි. හෙතෙම පෙන්වා දී ඇත්තේ, ත්රස්තවාදයට එරෙහි යුද්ධය, නාසි ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය ගෙන ගිය යුද්ධය හා සමාන බවය.