අනුරාධපුර තලාවේ පදිංචි විවාහක කාන්තාවකට ඊශ්‍රායලය හා ඔස්ට්‍රේයාවේ වික්ටෝරියා ප්‍රාන්තයේදී සිදුකළ බව කියන රථවාහන වැරදි දෙකක් සම්බන්ධයෙන් ඇමෙරිකානු ඩොලර් හයසියයකට වැඩි මුදලක් ගෙවන ලෙස දන්වමින් එරට පොලීසි විසින් දඩ පත්‍රිකා එවීමේ සිද්ධියක් වාර්තා වේ.අංක 112, පස්වන පටුමග, තිරප්පනයගම, තලාව ලිපිනයේ පදිංචි සෝමරත්නගේ දයාවතී (46) නම් කාන්තාවට මෙසේ ඔස්ට්‍රේලියා වික්ටෝරියා ප්‍රාන්ත පොලීසියෙන් දඩ පත්‍රිකා දෙකක් ලැබී තිබේ.
අදාළ දඩ කොළයට අනුව ඇයට A 013589868 දරන රියදුරු බලපත්‍රය හිමි අතර, එම රියදුරු බලපත්‍රය 2006 වසරේ සැප්තැම්බර් මස 04 වැනිදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කර තිබේ. එම අංකයට අදාළව නිකුත් කළ රියදුරු බලපත්‍රය ලැබී ඇතත්, එම බලපත්‍රයේ ඇගේ ඡායාරූපය වෙනුවට පිරිමි පුද්ගලයෙකුගේ ඡායාරූපයක් වීම නිසා ඒ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට ලිඛිතව දන්වා තිබේ.
පසුව ඇය සිය ඡායාරූපය ඇතුළත් රියදුරු බලපත්‍රය සකසාගෙන ඇති අතර, සිය නමට වූ වැරදි ඡායාරූපයක් සහිත රියදුරු බලපත්‍රය නැවතත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තුමේන්තුවට බාරදීමට කටයුතු කර තිබේ.
අවස්ථා හතරකදී ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත පොලීසිය හා ඊශ්‍රායල් පොලීසියක් මගින් සිදුකළ රථවාහන වැරදි කිහිපයකට දඩ නිකුත් කරමින් දඩ පත්, ශ්‍රී ලංකාවේ තලාව නගරයේ පිහිටි දයාවතී මහත්මියගේ නිවසට එවා ඇති අතර, එම දඩමුදල් සමග ප්‍රමාද ගාස්තු ගෙවා දමන ලෙස දන්වා තිබීමෙන් ඇය භීතියට සහ අපහසුතාවට පත්ව සිටියි.
එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ දයාවතී මහත්මිය,
“මම පොඩිකාලේ පාසලේ චාරිකාවකින් කොළඹට ගියාට පස්සෙ කිසිම දවසක කොළඹටවත් ගිහින් නෑ. නමුත් වේගසීමා උල්ලංඝනය කරමින් රිය ධාවනය කළා කියලා වික්ටෝරියා පොලීසිය මගින් ඇමෙරිකානු ඩොලර් 302.60 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 45,000 ක් පමණ) දඩයක් මේ මස 18 වැනිදාට පෙර ගෙවන්න කියලා දඩපතක් එවලා.
වර්ණ සංඥා නොසලකා රිය ධාවනය කළා කියලා තවත් දඩ පත්‍රයක් එවලා තියනවා. ඒකේ ප්‍රමාද ගාස්තුත් එක්ක ඇමෙරිකානු ඩොලර් 379 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 56500 ක් පමණ) ගෙවන්න කියලා තියෙනවා.
ඊට අමතරව මීට මාස ගාණකට ඉහතදී ඊශ්‍රායල් පොලීසියෙන් මට දඩ පතක් එවලා තිබ්බා. මේ සිද්ධීන් පිළිබඳ මම පොලීසියට, උසස් පොලිස් නිලධාරීන්ට හා දැන්විය යුතු සෑම ආයතනයකටම දැන්වූවා. නමුත් ඊට කිසිම ප්‍රතිචාරයක් නෑ.
මම මගේ මියගිය සහෝදරයන් ඇතුළු ඥාතීන්ගේ දරුවන් නව දෙනෙක් පෝෂණය කරනවා. ඒ දරුවනුත් මේ නිසා බයෙන් ඉන්නේ. මගේ නමට පිරිමි ඡායාරූපය සහිතව ආපු රියදුරු බලපත්‍රය කවුරුහරි විදේශයක භාවිත කරනවා ඇති. නැත්නම් කොහොමද මගේ නමට දඩපත් එන්නේ. ඒ රියදුරු බලපත්‍රය මට ලැබුණේ යුද සමයේ. ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ අයෙකු මගේ රියදුරු බලපත්‍රයත් අරගෙන ඒ නමින් විදේශගත වෙලා ඒක පාවිච්චි කරනවද කියලා මට සැකයක් තියෙනවා. ඔහු විවිධ රටවල්වලට සංක්‍රමණය වන අයෙක් කියලා විශ්වාසයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා මට සාධාරණයක් කරන්න කියලා මම ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු වගකිවයුතු ආයතනවලින් ඉල්ලා සිටිනවා" යනුවෙන්ද ඇය පැවසුවාය.