තලවකැලේ සිට ඩයගම දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් එම මාර්ගයේ වාලමලේ ප්‍රදේශයේදී අද (10දා) උදෑසන අනතුරකට ලක්ව එහි ගමන් ගත් පාසල් සිසු සිසුවියන් 60 ක් තුවාල ලබා ආගරපතන දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
බස් රථය කාර්මික දෝෂයකට ලක්වීම නිසා බස් රථයේ රියදුරු බස් රථය පස්කන්දකට ඇල්ලීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය විය.
උදෑසන පාසල් ළමුන් රැසක් සිය පාසල්වලට යෑම සඳහා දිනපතා මෙම බස් රථයේ ගමන් ගන්නා බවත්, රියදුරුගේ කල්පනාකාරීත්වය නිසා බස් රථය ප්රපාතය දෙසට ප්‍රතිවිරුද්ධ දිසාවේ බසය ධාවනය කරමින් සිදුවීමට තිබූ විශාල අනතුරක් නතර කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබූ සිසුන් තැලීම්, පොඩිවීම් හා සුළු තුවාල ලබා ඇති බවත්, බහුතර ළමුන් දැඩි ලෙස කම්පනයට පත්ව ඇතැයි ආගරපතන දිසා රෝහලේ දිසා වෛද්‍ය නිලධාරී ඒ. ජෙයරාජන් මහතා පැවසීය.
සුළු තුවාල ලැබූ හා කම්පනයට පත්ව ඇති සිසුන් පිරිස අද (10දා) දහවල් වනවිට ප්‍රතිකාර ලබාදී රෝහලෙන් පිටත් කළ හැකි තත්ත්වයේ පසුවන බවත්, තවත් ළමුන් කීප දෙනෙකු තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයේ පසුවන බවද දිසා වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
හැටන් රංජිත් රාජපක්ෂ/ ශාන් හුලංනුගේ