තක්සේරුකරුවන්ගේ නව සේවා ව්‍යවස්ථාවට ජාතික වැටුප් කොමිෂන් සභාවේ අනුමැතිය නොලැබීම හේතුවෙන්, ඊට එරෙහිව ඔවුන් ආරම්භ කර ඇති විරෝධතාවට දැනට මාස දෙකක කාලයක් ගතව තිබේ. ඒ පිළිබඳව ජනාධිපති, අගමැති ඇතුළු නිසි බලධාරීන් දැනුවත් කළද, තම ගැටලුවලට විසඳුමක් නොලැබුණු බව තක්සේරුකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
සංශෝධිත සේවා ව්‍යවස්ථාව ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ සංශෝධන සහිතව ඉදිරියට කරගෙන යාමට පසුගිය වසරේ දෙසැම්බර් 09 වැනිදා එකඟ වූ බවත්, ඉන් අනතුරුව එයට කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය 2014 වසරේ දෙසැම්බර් 12 වැනිදා ලැබුණු බවත් තක්සේරුකරුවන්ගේ සංගමය කියා සිටියි.
සේවා ව්‍යවස්ථාවට කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව එය 2014-12-15 වැනි දින ජාතික වැටුප් කොමිෂන් සභාවේ අනුමැතියට නැවතත් ඉදිරිපත් කර තිබේ. එහෙත් එතැන් පටන් මාස පහකට ආසන්න කාලයක් ගතව ඇතත්, ජාතික වැටුප් කොමිෂන් සභාව එකඟතාවලට පටහැනි යෝජනා ඉදිරිපත් කරමින් ඒ සඳහා අනුමැතිය ලබාදීම කල්දමන බවද තක්සේරුකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
එමනිසා ගැටලු සඳහා පිළිතුරු නොලැබීම හේතුවෙන් තක්සේරුකරුවන්ගේ සංගමය හෙට (27දා) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර ඇති අතර, එම විරෝධතාව පෙ.ව. 11.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කර පසුව මුදල් අමාත්‍යාංශය වෙත ගමන්කර විරෝධතාව පැවැත්වීමට නියමිතය.
සිය ගැටලුවලට පිළිතුරු ලැබෙන තෙක් අඛණ්ඩව විරෝධතාව පවත්වන බවද තක්සේරුකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.