තංගල්ල හෝටලයක නත්තල් සාදයකට සහභාගී වෙමින් සිටියදී බෝතල් කටුවලින් ඇන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවේ සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වන වික්ටෝරියා ඇලෙක්ස්රැන්ඩ්රියා නැමැත්තියට කොළඹ මහාධිකාරණය ඊයේ (22දා) නියම කළේය.
ඒ පිළිබඳව වූ සිතාසිය ඉංග්‍රිසි භාෂාවෙන් නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී පෙරේරා මහත්මිය නියම කරන ලද්දේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමිනි.
නඩු විභාගය සඳහා අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් වී සිටියදී රහස් පොලීසිය විසින් අල්ලාගන්නා ලද තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ නමැත්තාට නියම කොට තිබූ ඇපය අවලංගු කළ විනිසුරුවරිය නඩු විභාගය අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් භාරයට පත් කළාය.
පසුගිය 08 වැනිදා මෙම නඩුව විභාගයට කැඳ වූ අවස්ථාවේදී රෝගීවීම හේතුවෙන් ගාල්ලේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ බව කියමින් ඔහු උසාවියට නොපැමිණි අතර, ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත්කළ වරෙන්තුවකට අනුව මහත් පරිශ්‍රමයක් දරා රහස් පොලීසියේ ප්‍රධාන පොලීස් පරීක්ෂක අජිත් රෝහණ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පිටකෝට්ටේ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.
නඩුවට උපදෙස් ලබාගැනීම සඳහා නීතිඥවරයා හමුවීමට පැමිණ සිටියදී ඔහු අල්ලාගත් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හේමන්ත ගමගේ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතා කරුණු ඉදිරිපත් කරමින්, විත්තිකරු ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා උසාවිය නොමඟ යැවීම සඳහා ලබාදුන් ඒවා විය හැකි බැවින්, දුන් පළියට ඒවා බාර නොගන්නා ලෙස ඉල්ලා සිටියේය.
විත්තිකරුගේ රෝගී තත්ත්වය මත ඔහුට සතියක විවේකයක් ගන්නා ලෙස වෛද්‍යවරයා නිර්දේශ කොට ඇතත්, ඔහු ගාල්ලේ රෝහලෙන් පිටතට පැමිණ පැය කිහිපයක් තුළ කොළඹට පැමිණ ඇති බව ඔහුගේ ජංගම දුරකථන කුලුනු වාර්තා අනුව පැහැදිලි වන බවත්, ඔහුට උසාවියට ඉදිරිපත් වීමට වේලාවක් නොතිබුණත් පසුගිය කාලය තුළ රට පුරා ගිය බව දුරකථන කුලුනු වාර්තා අනුව පැහැදිලි වන බවත් තුසිත් මුදලිගේ මහතා දැනුම් දුන්නේය.
විත්තිකරු උසාවියට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ගැටලුවක් එතුව ඇති හෙයින් ඔහුට නියම කළ ඇපය අවලංගු කොට ඔහු රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසත්, මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය වන ඇලෙක්සැන්ඩ්‍රියා නැමැත්තියට සිතාසි නිකුත් කරන්නැයිද නීතිඥවරයා ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරැණු පිළිගත් විනිසුරුවරිය අදාළ නියෝගය නිකුත් කළ අතර, ලබන මාර්තු 26 වැනිදා සිට නඩුව විභාග කිරීමට තීරණය කළාය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා සහ නයෝමි වික්‍රමසේකර මෙනවිය සමග ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියහ.
විත්තිකරු වෙනුවෙන් නීතිඥ ශාමික වෙල්ලප්පිලි, අනුර චන්ද්‍රසිරි, නිලන්ත විජේසිංහ ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමග නීතිඥ හේමන්ත ගමගේ මහතා පෙනී සිටියේය.