තමා ගෙවා ගත නොහැකි තරමට ණය ලබානොගත් බවත් කෑමට බීමට ණය ලබා නොගත් බවත්, ණය ගත්තේ යුද්ධය දිනවීමට හා වැදගත් ව්‍යාපෘති ගොඩ නැගීමට බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. ඒකාබද්ධ විපක්ෂයේ බත්තරමුල්ල කාර්යාලයේ දී පැවැති දේශනයක් අමතමින් හිටපු ජනපතිවරයා මේ බවප පැවැසීය.
"මම ණය ගත්තෙ කන්න බොන්න නෙවෙයි මම ණය ගත්තෙ යුද්ධය දිනන්න සහ රටේ එතෙක් නොකෙරුණු වැදගත් ව්‍යාපාති ගොඩනගන්න. මගේ ආණ්ඩුව ගොඩනගපු දේවල් මුලු රට පුරාම පේන්න තියෙනවා. මේ ආණ්ඩුවේ ලොක්කො තාමත් විවෘත කරන්නෙ මම පටන්ගත්ත ව්‍යාපෘති විතරයි. මම මොන දේට ණය ගත්තත් බොහොම පරිස්සමෙන් සැලසුම් කරලා තමයි ගත්තෙ. ඒකයි ගෙවන්න බැරි ණය වාරික අපේ ආණ්ඩුවට තිබුණෙ නැත්තෙ.
පසුගිය අවුරුද්දෙ ජනවාරියෙ ඉඳල යහපාලන ආණ්ඩුව ඉවක් බවක් නැතුව ණය ගත්ත. කලින් ආණ්ඩු ගත්ත ණය කියන්නෙ මගේ ආණ්ඩුවෙන් ගත්ත ණය විතරක් නෙවෙයි. මේකෙ තියෙනව ජේ.ආර්. ජයවර්ධන මහත්තයගෙ කාලෙ ඉඳන් ගත්ත දිගු කාලීන ණය. සෑම ආණ්ඩුවක්ම කලින් තිබුණ ආණ්ඩුවල ණයත් ගෙවනව. මමත් 2005 දී බලයට පත් වුණාට පස්සෙ කලින් ආණ්ඩු වල ණය ගෙව්ව.
අපි යුද්ධ කාලෙවත් මෙහෙම ණය ගත්තෙ නැහැ. මේ අය ණය ගන්නෙ එදිනෙදා වියදම් පියවගන්න. 2015 ජනාධිපතිවරණය බොරු කියල දිනාගත්තා.2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයත් ඒ විදියටම දිනාගන්න බැරි නිසා වෙන විදියකට මිනිස්සු රවට්ටන්න ආර්ථිකයට දරාගන්න බැරි වැටුප් වැඩිකිරීම්, බදු සහන වගේ දේවල් දුන්න."