මහා බ්‍රිතාන්‍යයේ වත්මන් අගමැති ඩේවිඩ් කැමරන් එළැඹෙන බදාදා (13දා) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු භාර රාජ්‍ය ලේකම් තේරේසා මේ වෙත අගමැති ධුරය සඳහා මාවත සකස් කරමින් කැමරන් ඉල්ලා අස්වනු ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, අගමැති කැමරන් Brexit ජනමතවිචාරණයෙන් පසුව කියා සිටියේ තමන් ලබන ඔක්තෝබර් මාසයේදී ධුරයෙන් ඉවත් වන බවයි.
නමුදු, අද වනවිට එරට අගමැති කැමරන් නියෝජනය කරන කන්සර්වෙටිව් පක්ෂයේ නායකත්වය සඳහා වූ ඡන්දයෙන් තේරීපත් වීමට තේරේසා මේ සමත් වී සිටියි.
එහිදී, ඇය සමග තරගයට ඉදිරිපත්ව සිටි බලශක්ති අමාත්‍ය ඇන්ඩියා ලීඩ්සම් එම තරගයෙන් ඉවත්වීමත් සමග තේරේසා මේ වෙත අගමැති ධුරය සඳහා වූ මාවත වඩාත් පැහැදිලිව විවර වී තිබේ.
ඩවුනින් වීදියේ අංක 10 නිවස ඉදිරිපිට පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අගමැති කැමරන් පවසා සිටියේ, හෙට දිනය තමාගේ අවසන් කැබිනට් රැස්වීම වනු ඇති බවයි. එමෙන්ම, බදාදා මහජන මන්ත්‍රණ මණ්ඩලයට පැමිණීමෙන් පසු, බකිංහැම් මාලිගයේදී රැජින වෙත සිය අස්වීම භාරදෙන බවද අගමැතිවරයා පවසා සිටියේය.