පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ මහ නගර සභා බලප්‍ර‘දේශවල ඩෙංගු අවදානම ඉහළ යමින් ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසීය.
තම සමීක්ෂණයන්ට අනුව නිවාස සියයකින් 12%ක් - 16%ක ප්‍රමාණයකින් පසුගිය කාලසීමාවේ ඩෙංගු කීටයන් වාර්තා වූ බව සඳහන් කළ ඒ මහතා පවතින වැසි තත්ත්වය අඛණ්ඩව පැවැතුණහොත් එම තත්ත්වය වර්ධනය විය හැකි බව අනතුරු ඇඟවීමක්ද සිදු කළේය.
මාරාන්තික ඩෙංගු අවදානම පාලනය කිරීම සඳහා නිවාස ඉලක්ක කරගනිමින් දූමායන කටයුතු සිදු කළද වැසි සහිත තත්ත්වය හේතුවෙන් නිවාස ආශ්රිත බාහිර පරිසරයන්ට දූමායන සිදුකිරීමට නොහැකි බව ප්‍රධාන වෛද්‍ය නිධාරීවරයා පෙන්වා දුන්නේය.
ඩෙංගු උවදුර පාලනය සඳහා පුරවැසියන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා, අතහැර දමා ඇති නිවාස හා ගොඩනැගිලි, පාළු ඉඩම් මෙන්ම ඉදිකිරීම් කටයුතු සිදුකරන ස්ථාන පිළිබඳ 0112-696594 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.