ගිලන් රථ රියදුරෙකු නොමැති අවස්ථාවක ගිලන් රථයක් යොදවා රිය අනතුරකට ලක්වූ ගැබිනි කාන්තාවක අනුරාධපුරය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට කටයුතු කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් විගණනයක් පවත්වන ලෙස ගිලන් රථ වෘත්තීය සංගමයේ ඉහළ නිලධාරියෙකු අද (17දා) උතුරු මැද පළාත් සෞඛ්‍යය විගණන ඒකකයට පැමිණිල්ලක් කර තිබේ.
රාජංගණය, යාය 11 ප්‍රාදේශීය රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයාගේ දැඩි කැපවීම හේතුවෙන් ගැබිනි කාන්තාවගේ හා ඇයගේ දරුවාගේ ජීවිත බේරා ගැනීමට හැකිව තිබුණද, රෝහලේ ගිලන් රථ රියදුරා නොමැතිව පිටස්තර රියදුරෙකු මගින් රෝගීන් රෝහලට රැගෙන ඒම පිළිබඳ කූපිත වූ වෘත්තීය සමිති නිලධාරියා මෙලෙස පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
වෛද්‍යවරයා රෝගියාව අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යෑමට පෙර සිටම විගණන ඒකකයේ නිලධාරින් එම ස්ථානයේ රැඳී සිට ඇතැයිද වාර්තා වේ.
අදාළ ගැබිනි කාන්තාව සිය සැමියා සමග අද (17දා) උදෑසන යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී යතුරුපැදියෙන් ඇදවැටී ඇති අතර, සති 36ක් පමණ වන දරු ගැබක් සහිත ඇය අසාධ්‍ය තත්ත්වයෙන් රාජංගණය, යාය 11 ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
ඇයගේ කුස තුළ සිටින දරුවාගේ හෘද ස්පන්ධනය ඉතා වේගයෙන් අඩුවීම පිළිබඳ වෛද්‍යවරයා දැඩි අවධානය යොමුකර ඇති අතර, ඇය අනුරාධපුරය ශික්ෂණ රෝහලට යොමුකළ යුතුව තිබුණද, ගිලන් රථ රියදුරු නිවාඩු ලබා තිබීම හේතුවෙන් එය නොහැකි වී තිබේ.
වෙනත් රෝහල් කිහිපයකින් ගිලන් රථයක් ලබාගැනීමට වෛද්‍යවරයා උත්සාහ කර තිබුණද නොලැබුණු බැවින් ඒ පිළිබඳ උතුරු මැද පළාත් සෞඛ්‍යය සේවා අධ්යක්ෂවරයාට වාචිකව පවසා පිටස්තර රියදුරෙකු සමග කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි අනුරාධපුරය ශික්ෂණ රෝහලට රෝගියා රෝහලේ ගිලන් රථයකින් රැගෙන යෑමට වෛද්‍යවරයා කටයුතු කර තිබිණි.
පවුල් සෞඛ්‍යය සේවිකාවක, ඇයගේ සහායිකාව, රිය සහායක හා වෛද්‍යවරයා ගිලන් රථයෙන් රෝගියා අනුරාධපුරය රෝහලට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී රෝහලේ කිසියම් සේවකයෙකු විසින් අදාළ වෛද්‍යවරයා වෙනත් රියදුරෙකු යොදවා රෝගියෙකු තම රෝහලට රැගෙන ආ බව නිවාඩු ලබා සිටි ගිලන් රථයේ රියදුරුට පවසා ඇත.
ඉන් දැඩි කෝපයට පත් ගිලන් රථ රියදුරා වහාම ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයාට දන්වා තිබේ. ඔහු ඒ පිළිබඳ උතුරු මැද පළාත් සෞඛ්‍යය සේවා විගණන ඒකකයට දන්වා ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ එම ඒකකය වෛද්‍යවරයා රෝහලට පැමිණි අවස්ථාවේ ගිලන් රථය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.
ගිලන් රථය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බව පවසමින් ගිලන් රථ වෘත්තීය සංගමයේ නායකයා විසින් වෛද්‍යවරයාට අවලාද නගා ඇති අතර, තමන් ලැජ්ජා වීමට පෙර ජීවිත දෙකක් බේරාගැනීමට ගත් උත්සාහය අවභාවිතයක් යැයි පැවසන වෘත්තීය සමිති නායකයන් ලැජ්ජා විය යුතු බව වෛද්‍යවරයා ඔහුට පවසා තිබේ.
වෛද්‍යවරයා අප්‍රමාදව කටයුතු කිරීම හේතුවෙන් අද (17දා) සවස් වනවිට මව හා කුස තුළ සිටි දරුවා යහපත් සෞඛ්‍යය මට්ටමකින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිටි බව වාර්තා විය.