ජාතීන් අනුව පාසල් වර්ග කිරීම වෙනස් විය යුතු බවත්, දෙමළ හා සිංහල භාෂාවලින් ඉගැන්වීම් කරන පංති කාමර සංඛ්‍යාව ඉහළ නැංවිය යුතු බවත් ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය.
“ද්වි භාෂාවෙන් ඉගෙන ගන්න පාසැල්වල පන්ති කාමර සංඛ්‍යාව වැඩි විය යුතුයි. ඒ වගේම අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් පාසැල් කියලා වර්ග කිරීම වෙනස් කරන්න ඕනේ.” යැයි අමාත්‍යවරයා සඳහන් කරයි.
එසේම යාපනයේ තිබූ සිංහල මධ්‍ය මහා විද්‍යාලය නැවත ආරම්භ කරන ලෙස තමන් පැවසූ බවත් එහි ළමයින් කිහිප දෙනෙකු සිටින බවත් ඔහු සඳහන් කළේය.
එසේම පසුගිය කාලයට සාපේක්ෂව කිසියම් ආගමක් හෝ ජාතියක් ඉලක්ක කරගෙන ජාතිවාදය ඇවිස්සීම අඩු වී ඇති බවත් ජාතිවාදය උත්සන්න වන සෑම අවස්ථාවකදීම ආණ්ඩුව තුළ සිට සටන් කරන බවත් ඔහු පැවසීය.
බදුල්ලේ පැවති උත්සවයක් අමතමින් මනෝ ගනේෂන් මහතා මේ අදහස් දැක්වීය.