යෝජිත කරුණු 7 ජනපතිගෙන් ඉටුනොවුණොත් සහාය තුන්වැනි පොදු අපේක්ෂකයෙකුට
"ජාතික හෙළ උරුමය" පක්ෂ සම්මේලනයේදී නායකයෝ කියති
ජාතික හෙළ උරුමය ආණ්ඩුවට ඉදිරිපත් කරන කරුණු 07 කින් සමන්විත ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් යෝජනා ඉෂ්ට නොකර ජනාධිපතිවරණය පැවැත්වුවහොත් මහින්ද රාජපක්ෂ මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා නොදී තුන්වැනි පොදු අපේක්ෂකයෙකුට සහාය ලබාදෙන බව එම පක්ෂය අවධාරණය කළේය.
එසේම මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න තීරණය කරන්නේ ජාතික හෙළ උරුමය යැයි 'අදීන රටක් ශීලාචාර සමාජයක්' මැයෙන් ඊයේ (19දා) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවැති ජාතික හෙළ උරුමයේ 11 වැනි ජාතික මහා සම්මේලනයේදී එම පක්ෂයේ නායකයෝ පවසා සිටියහ.
දේශාපලන ප්‍රතිසංස්කරණ, රාජ්‍ය පාලනය, නීතිය සහ අධිකරණය, යහපාලනය, බුද්ධ ශාසනය, ආගමික කටයුතු සහ සදාචාරය, සිංහල උරුමය, ආර්ථික සංවර්ධනය යන යෝජනා මෙහිදී සාමාජිකයින් විසින් අනුමත කළ අතර, හෙට 21දා එම යෝජනා ජනාධිපතිවයා වෙත පිළිගන්වා ඔහුගේ අදහස විමසීමට නියමිතය.
එම යෝජනා පිළිගෙන ජනාධිපතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් අලුත් ජාතික නායකයෙකුට සහය ලබාදෙන බවත් පක්ෂයේ නායකයෝ මෙහිදී අවධාරණය කර සිටියහ.
මෙහිදී අදහස් පළ කළ ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ පක්ෂයේ ලියවිල්ල ගැන සිතා ජනාධිපතිවරයා කටයුතු කළහොත් ඔහු ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවයි. ආණ්ඩුව අනවශ්‍ය ලෙස විවේචනය නොකරන්නැයි තම පක්ෂයේ සාමාජිකයන්ගෙන් උපදෙස් ලැබුණු බවද මෙහිදී උන්වහන්සේ කීහ.
පක්ෂයේ මහලේකම් අමාත්‍ය පාඨලී රණවක මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී ඉවසා කටයුතු කළ බවත්, එම ඉවසීම නිවට කමක් ලෙස ආණ්ඩුවේ සමහරු සිතන බවත්ය. තම පක්ෂය මැදිහත්ව රෝපණය කළ ජාතිමාමක ගසේ සමහර අතු දිරා ගොස් ඇතැයිද සමහර අතුවල පිළිල හැදී ඇතැයිද පැවසූ ඇමතිවරයා එම අනවශ්‍ය කොටස් ඉවත් කර ගසට ප්‍රාණයක් දීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය. එසේ නොවන්නේ නම් අලුත් පැළයක් රෝපණය කිරීමට පසුබට නොවන බවද ඔහු පවසා සිටියේය.
පක්ෂයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රතිකාර සඳහා ජර්මනියට ගොස් තිබූ නිසා මෙම සමුළුවට සහභාගි නොවීය. ලබන වසරට පක්ෂයේ නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම කාරක සභාවට බලය පැවරෙන යෝජනාවක් සම්මත කර ගැනීමද මෙහිදී සිදු කෙරුණි. උදය ගම්මන්පිල. නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මහත්වරුද මෙහිදී අදහස් පළ කළහ. දිවයිනේ විවිධ ප්‍ර‘දේශ නියෝජනය කරමින් ගිහි පැවිදි විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ