ජාතික විගණන පනත සකස් කළේ රටේ මහජනතාවගේ මුදල් ආරක්ෂා කරදීමට බවත්, එය වෙනස් කිරීමට විධායකයට හෝ අමාත්‍ය මණ්ඩලයට හැකියාවක් නොමැති බවත් හිටපු විගණකාධිපති එස්. මායාදුන්නේ මහතා සඳහන් කළේය.
ජාතික විගණන පනතක් සකස් කිරීමේ අවශ්‍යතාව 1977 වසරේ සිට පැවතුණු බවත්, එහෙත් සියලු දෙනාගේ සහයෝගය මත ජාතික විගණන පනතක් සකස් කිරීමට හැකියාව ලැබුණේ තමා විගණකාධිපති ධුරය දරන කාලයේදී බවත් ඔහු පවසා සිටියේය.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව ඊයේ (04දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී එස්. මායාදුන්නේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සකස් කර තිබෙන ජාතික විගණන පනත 2005 වසරේදී කැබිනට් මණ්ඩලය දක්වා රැගෙන ගියද දූෂිත පුද්ගලයන් විසින් එය ඉන් ඉදිරියට යාම වැළැක්වූ බවයි.
අද දිනය දක්වාම එම ක්‍රියාවලිය සිදු වෙමින් තිබෙන බවත්, මේ වනවිට පනත කැබිනට් අනුකමිටුවකින් සංශෝධනය කිරීමට උත්සාහ ගන්නා බවට වාර්තා වන බවත් ඒ මහතා පවසා සිටියේය.
අදාළ පනත සංශෝධනය කිරීමට විධායකයට හෝ අමාත්‍ය මණ්ඩලයට හැකියාවක් නොමැති අතර, එහි යම් හෝ සංශෝධනයක් සිදුකළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බවද මායාදුන්නේ මහතා සඳහන් කළේය.
මෙය සංශෝධනය කිරීම පිටුපස දූෂිත පුද්ගලයන් සිටින බවට වාර්තා වන බවත්, පනත සකස් කළ දා සිටම පනත සම්මත වීම වැළැක්වූයේ දූෂිත පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් බවත් ඔහු පවසා සිටියේය.
පනත සංශෝධනය කර සම්මත කළහොත් එම පනත තුළින් බලාපොරොත්තු වන කිසිවක් නොලැබෙන බවත්, මේ නිසා පනත ඒ අයුරින්ම සම්මත කරදීම පාර්ලිමේන්තුවේ වගකීම බවත් හෙතෙම සඳහන් කළේය.