දකුණේ ජනතාව නොමග යැවීම සඳහා ජාතික පුවත්පත් අසත්‍ය ප්‍රචාර පතුරවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. වව්නියාවේ පැවැති ජනපති නිල මෙහෙවට උත්සවයට ඊයේ (21දා) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම බලය බෙදිය යුත්තේ දේශපාලඥයින් සඳහා නොව ජනතාව සඳහා බවත් බලය බෙදීමේ යෝජනාවන්ට විරුද්ධවනවානම් ඒ සඳහා වහාම යෝජනා ඉදිරිපත් කළ යුතු බවත් ඔහු පැවැසීය.
“අපි බොහොම පැහැදිලි ලෙස රටේ ජනතාවට කියනවා මේ රට කැඩෙන්නෙ නැති බෙදෙන්නේ නැති විසඳුමකට යන්න ඕනෑ බලය බෙදීම සම්බන්ධයෙන් කියලා. මේ කාරණාව කියන විට සමහර අය සත්‍ය කතාකරනවා වගේම සමහර අය බොහෝ අසත්‍ය ප්‍රකාශ කරනවා.
අපේ රටේ ජාතික පුවත්පත්වල විශාල වශයෙන් බොරු ප්‍රචාරය වෙනවා, අසත්‍ය දේ පළ වෙනවා. විශේෂයෙන්ම දකුණේ ජනතාව නොමග යවන්න වැරදි ප්‍රචාර කරනවා. මේ ප්‍රශ්නයට විරුද්ධ වෙන අය ප්රශ්නයේ සැබෑ අමාරුකම හා සංකීර්ණ තත්ත්වය තේරුම් ගන්න ඕනෑ. සමහර අය අපට කියනවා මේ යුද්ධයෙන් රට බෙදන්න ගිය එක බැරිවෙච්ච නිසා අපි දැන් රට බෙදන්න කඩන්න හදනවා කියල. ඒ චෝදනා අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
මේ බලය බෙදීම සම්බන්ධව විරුද්ධව කතා කරන සෑම කෙනෙක්ම මේ ප්‍රදේශවලට එන්න ඕනෑ. මේ රටේ සෑම ප්‍රදේශයකම සෑම ගමකම ඉන්නේ එක සමාන මිනිස්සු. ඒ ගොල්ලො සිංහලද, දෙමළද, මුස්ලිම්ද, මැලේද, බර්ගර්ද කියන ප්‍රශ්නයක් නැහැ. මේ සෑම කෙනෙකුටම සාධාරණ සමාජයක් තියෙන්නට ඕනෑ. සංවර්ධනය එක සේ සිද්ධවෙන්න ඕනෑ. සම්පත් එකවගේ බෙදී යන්න ඕනෑ
බලය බෙදීම දේශපාලඥයින් සඳහා නොව බලය බෙදීම ජනතාව සඳහා විය යුතුයි. ඒ නිසා මේ ප්රශවලදී විරුද්ධව කෑ ගහන සෑම කෙනෙක්ම මේ ප්රශ්නයේ සැබෑ අසීරුකම් සහ යථාර්ථයන් දකින්න ඕනෑ. මේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් දුන්නේ නැත්නම් මේ රටේ අනාගතය පිළිබඳව ඇති වෙන ප්‍රශ්නවලට ඒ ගොල්ලෝ වගකියන්න ඕනෑ.
විවේචනය කරන්න පුළුවන් විරෝධතා පවත්වන්න පුළුවන් උද්ඝෝෂණ කරන්න පුළුවන් නමුත් ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ඒ ගොල්ලෝ ගාව කිසිම යෝජනාවක් නැහැ. මේ විරෝධතා පවත්වන සෑම කෙනෙකුගෙන්ම මම ඉල්ලීමක් කරනවා ඒ ගොල්ලෝ විරුද්ධ නම් අපි ඉදිරිපත් කරන යෝජනා වලට ප්‍රධාන වශයෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ඒ ගොල්ලන්ගේ යෝජනා ඉදිරිපත් කරන්නයි කියලා.”