ජාතික ආහාර නිෂ්පාදන සංග්රාම සතිය එළඹෙන ඔක්තෝබර් මස 05දා සිට 11දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කෘෂිකාර්මික ක්ෂේත්රය හා ඊට අනුබද්ධිත අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ගොවි ප්‍රජාව, තරුණ ප්‍රජාව, සිසු ප්‍රජාව, රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකයන් සහ පළාත් සභාවල සෘජු මැදිහත්වීම මත සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඔක්තෝබර් මස 05 වැනි දින ගොවි දිනය ලෙසත්, 06 සිසු දිනය ලෙසත්, 07 පශු සම්පත් දිනය ලෙසත්, 08 ව්‍යවසායකත්ව දිනය ලෙසත්, ආහාර නිෂ්පාදන සංග්රාම සතිය සංවිධානය කොට ඇත. එමෙන්ම 09 ධීවර දිනය, 10 රාජ්‍ය සේවකයන්ගේ දිනය සහ 11 දියවර දිනය ලෙස ද වැඩසටහන් පැවැත්වීමට නියමිතය.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (11දා) පස්වරුවේදී පැවැත්වුණි.
දේශගුණික විපර්යාසයන් හමුවේ අභියෝගයට ලක්වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් අඛණ්ඩව ඉදිරියට ගෙන ඒමටත්, කෘෂිකාර්මික ප්රබෝධයක් ඇති කිරීමත් ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ අරමුණ වන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
නියඟය පවතින ප්‍රදේශවල ගොවි ජනතාවට විශේෂ සහන ක්‍රමයක් යටතේ කෘෂි බීජ ලබාදීමට දැන් සිටම ක්‍රියාත්මක වන ලෙස සහ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය පිළිබඳ මෙම වැඩසටහනේදී අවධානයක් යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.