ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම ඇමතිධුරය දැරූ සමයේදී පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයා ජනාධිපති කාර්යාලයට අනුබද්ධ ආයතනයක අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර තිබිමෙන් ජවිපෙ හා ආණ්ඩුව අතර සම්බන්ධතාව පැහැදිලි වන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස නියෝජ්‍ය ඇමතිවරයෙකුට හිමි වරප්‍රසාද ලබාගැනීමට අනුර කුමාර මහතාට මෙම සබඳතාව හේතුවී ඇතැයිද එම පක්ෂය පෙන්වා දෙයි.
ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (23දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් වරප්‍රසාද ලබාගන්නා අතරේ එජාපයට හා ශ්‍රීලනිපයට චෝදනා කරමින් ජනතාව රැවටීම සඳහා ව්‍යාජ රංගනයක යෙදෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා,
“ දින 100 ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටත් ඉහළින් තිබුණු ජාතික විධායක සභාවේ සාමාජිකයෙකු ලෙස අනුර දිසානායක කටයුතු කළා. හොරු ඇල්ලීම සඳහා යැයි කියමින් එම ජාතික විධායක සභාවේ අනුර දිසානායක, රාජිත සේනාරත්න, චම්පික රණවක ආදීන්ගේ අධීක්ෂණය යටතේ පිහිටුවනු ලැබූ %දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ’ අධ්යක්ෂ ධුරය ලබා දුන්නේ අනුර දිසානායක කෘෂිකර්ම ඇමැති ධුරය දරන කාලයේ ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ආනන්ද විජේපාල නැමැත්තාටයි.
ජවිපෙ 2015 අගෝස්තු 18 මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 06ක් යන්තමින් ගත්තා. එතැනදීත් මන්ත්‍රී ධුර 51ක් තිබුණු සැබෑ විපක්ෂය පසෙකලා ප්රජාතන්ත්ර විරෝධීව මන්ත්‍රී ධුර 16ක් තිබුණු සම්බන්ධන්ට විපක්ෂ නායක ධුරය ලබාදෙන විට, අනුර දිසානායක ලැජ්ජානැතිව නියෝජ්‍ය ඇමැති ධුරයකට හිමි වරප්‍රසාද සහිත විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබා ගත්තා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ අනුව අතුරුදන්වූවන්ගේ කාර්යාලය හදන පනතට අත ඔසවලා රණවිරුවන් දඩයම් කිරීමට සහයෝගය දුන්නා.
දැන් ආණ්ඩුවේ පිල් දෙක නිල්පාට ඡන්ද මල්ල වෙනම අරගෙන යනවා, කොළපාට ඡන්ද මල්ල වෙනම අරගෙන යනවා’ කියලා අනුර දිසානායකම කියනවා. ආණ්ඩුවේ නිල්පාට, කොළපාට පිල් දෙක ඡන්ද මලු ඒ විදිහට වෙන වෙනම පුරවා ගන්න හදද්දි, ඒ ආණ්ඩුවේ ස්පෙයාර් වීල් එක වුණු ජවිපෙ රතුපාට ඡන්ද මල්ල වෙනම අරගෙන යනවා. ඒක පුරවාගන්න නිල්, කොළ ගජ මිතුරන්ට බොරුවට බනිනවා. * යනුවෙන් පවසා සිටියේය.