ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජාතික හෙළ උරුමය විරුද්ධ බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එම සංශෝධනය මගින් බරපතළ ලෙස රට අස්ථාවර වීමට හා ප්රජාතන්ත්රවාදයට තර්ජනයක් එල්ල වීමට හැකි බවද අද (28දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනවලට තම පක්ෂය විරුද්ධ නොමැති බවද ඔහු පැවසීය.
“සමහරු කියනවා මේ ජනාධිපති පොරොන්දුවක් දුන්නා ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා, ජනාධිපති පොරොන්දු කඩ කළා කියලා. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනය නොකියවපු අය තමයි චෝදනා කරන්නේ. ප්‍රතිපත්ති ප්රකාශනයේ පැහැදිලිව තිබෙනවා ජනමත විචාරණයට තුඩු දෙන කිසිම ආකාරයක ව්‍යවස්ථා සංශෝධනයක් හෝ ව්‍යවස්ථා වෙනස් කිරීමක් කරන්නේ නැහැ කියලා.
මේ 20 වැනි සංශෝධනය අඩු වැඩි වශයෙන් ගත්තත්, සමස්තයක් වශයෙන් ගත්තත් සිදු කරන්නේ දැනට පවතින ජනාධිපති ධුරය මැතිවරණ ක්‍රමය ආදී වෙනත් දේවල් වෙනස් නොකොට අහෝසි කිරීමයි, නාම මාත්‍රික කිරීමයි. එමගින් රට බරපතළ ලෙස අස්ථාවර වීමටත්, ඒ වගේම ප්රජාතන්ත්රවාදයට එමගින් තර්ජනයක් එල්ල වීමටත් බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ඒනිසා අපි ඒකට එකහෙළාම විරුද්ධයි.
ඒ වගේම යම්කිසි කෙනෙක් මේ ජනාධිපති ධුරය අහෝසි කර ඒ වෙනුවට ස්ථාවර පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් එක්ක නව ව්‍යවස්ථාවක් යෝජනා කරනවා නම් ඒ යෝජනා කෙටුම්පත සලකා බලා එයට සහාය දීමටත් අපි සූදානම්'' යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.