ජනතා විමුක්ති පෙරමුණේ කැස්බෑව ප්රධාන කාර්යාලයේ අද පෙරවරුවේ ඇතිවූ පහරදීමකින් කාර්යාලය අයත් නිවසේ හිමිකරු සහ ඔහුගේ ඥාතියෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
පිලියන්දල, ජාලියගොඩ පිහිටි මෙම කාර්යාලය පිහිටි නිවසේ අයිතිකරු වන බන්දුල කන්නංගර මහතා සහ ඔහුගේ ඥාති සහෝදරයෙකු මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මේ පිළිබඳව ඔවුන් පිළියන්දල පොලීසියටද පැමිණිලි කර ඇත.
තමාගේ විරෝධතාව නොතකා ජනතා විමුක්ති පෙරමුණ මෙම කාර්යාලය පවත්වාගෙන යන බවත් පසුගිය කාලය පුරා එය ඉවත් කරගන්නා ලෙස පැවසුවද එය ඉවත් කර නොගත් බවත් අද දින එයට අලුතින් කොටසක් එක් කිරීමට යාමේදී තමන් එයට විරුද්ධ වූ නිසා පස්දෙනෙකු පැමිණ පොලුවලින් පහරදුන් බවත් බන්දුල කන්නංගර මහතා පැවසීය.