තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගෙන් හිස් වන මහ ඇමති ධුරය සඳහා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්ෂයේ ඕ. පනීර්සෙල්වම්ගේ නම යෝජනා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සෙනසුරාදා ඉන්දීය අධිකරණයක් විසින් ලබාදුන් නඩු තීන්දුවකට අනුව ඇ.ඩො.මිලියන 10කට ආසන්න වත්කම් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා නඟමින් හිටපු මහ ඇමතිනියට වසර 4ක සිර දඬුවමක් පැනවීය.
ඉන්දීය සිනමාවේ නිළි රැජිනක වී පසුව, දේශපාලන පොර පිටියට පිවිසි ජයලලිතා මෙම නඩු තීන්දුවත් සමග සිහිසුන් වූ බව වාර්තා විය.
මීට වසර 18කට පෙර ගොනු වූ මෙම නඩුව මෙතරම් කාලයක් ඇදෙමින් පැවතියේ ඉන්දියාවේ පාලක පක්ෂයේ තීරක බලවේගය බවට සෑම විටම තමිල්නාඩුව පත්වීම නිසාය.
නමුත්, මෙවර මහ මැතිවරණයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතී ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේ, තමිල්නාඩුවේ සහායෙන් තොරව රජයක් පිහිටුවීමේ හැකියාවද සමගිනි.
ඒ අනුව, වසර 18ක් තම බල පරාක්‍රමයෙන් වංචා හා දූෂණ සඟවාගෙන සිටි නිළි රැජිනට අවසානයේ කණ කොකා හඬලන්නට වූයේ, සිය දේශපාලන දිවියටද දීර්ඝ විරාමයක් ලබාදීමේ තිත තබමිනි.
ඇයට නියම වූ සිර දඬුවමට අමතරව ඉන්දීය රු.බිලියනයක දඩයක්ද ඇයට නියම කර ඇති අතර, මෙය තමිල්නාඩු දේශපාලනය උඩු යටිකුරු සිදුවීමක් විය.
ඇයගේ තීන්දුව ප්‍රකාශයට පත්වන විට ඇයට හිතවත් පාක්ෂිකයන් හඬා වැටුණු අතර, ඇතමුන් දිවි නසාගැනීමටද උත්සාහ කළේය. නමුත්, ඉන්දීය මධ්‍යම රජය විසින් තමිල්නාඩුවේ ආරක්ෂාව තර කරමින්, බොහෝ ගැටුම් ව්‍යර්ථ කරමින් තත්ත්වය සාමකාමීව පවත්වාගෙන යාමට කටයුතු කරන බවද වාර්තා වෙයි.