සති කිහිපයක සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් සිය මහ ඇමති බලතල හා වගකීම් නියෝජ්‍ය මහ ඇමතිවරයා වෙත පවරා ඇති බව එම ප්රාණ්ත ආණ්ඩුකාරවරයා පවසයි.
ඇගේ අතිශය සමීප දේශපාලන සගයෙකු ලෙස සැලකෙන ඕ.පී. පනීර්සෙල්වම් වෙත මෙසේ තමා යටතේ පවතින සියලු අමාත්‍යාංශ හා ඒවායේ වගකීම් පැවරීමට ජයලලිතා කටයුතු කළත්, ඇය තවදුරටත් තමිල්නාඩු මහ ඇමතිනිය ලෙස නාමිකව ධුරයේ රැඳී සිටිනු ඇති බවද විදෙස් වාර්තා පවසයි.
තමිල්නාඩු ආණ්ඩුකාර විද්යාසාගර් රාඕ පවසා සිටියේ මහ ඇමතිනියගේ කැමැත්ත පරිදි මෙසේ ඇගේ අමාත්‍යාංශ හා වගකීම් නියෝජ්‍ය මහ ඇමතිවරයා වෙත පැවරීමට කටයුතු කළ බවයි.
කෙසේ වෙතත්, පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජයලලිතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මුනිවත රැකීමට බලධාරීන් කටයුතු කිරීම නිසා ඉන්දියාව පුරාම විවිධ කටකතා ලැව්ගිනි ආකාරයෙන් පැතිරෙමින් තිබේ.
එමෙන්ම, මෙසේ කටකතා පතුරුවන අය අත්අඩංගුවට ගැනීමටද එම ප්‍රාන්ත පොලීසිය පසුගියදා කටයුතු කළ අතර, මෙසේ මහ ඇමතිනියගේ සෞඛ්‍ය ජනතාවගෙන් වසන් කිරීමට හේතුව ලෙස පැවසුනේ, ඇයගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් අසාධ්‍ය තත්ත්වයක් ඉස්මතු වුවහොත්, ඇගේ පාක්ෂිකයන් උන්මත්තකයන් මෙන් ප්‍රචණ්ඩක්‍රියා කිරීමට හෝ සියදිවි හානි කරගැනීමට ඇති හැකියාව සලකා බලමිනි.