ජනාධිපතිවරයා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවේ උසස් නිලධාරීන් උතුරු පළාත් සභාවට සහ එහි ජනතාවට සියලු පහසුකම් සලසා දෙන බවට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළත්, ඔවුන් සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව රැවටීමක් පමණක් යැයි උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් පවසා ඇති බව බී.බී.සී.ය කියයි.
යාපනයේ චාවකච්චේරි නගර සභාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් ඊයේ (19දා) එහි පැවති මහජන රැස්වීමක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කොට ඇති බව එහි වැඩිදුරටත් දැක්වෙයි.
එහි වාර්තා කර ඇති ආකාරයට, විශාල ජනකායක් සහභාගි වූ එම රැස්වීම ඇමතූ උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයා, ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා ජනාධිපතිවරයා විශ්වාස කළ නොහැකි පුද්ගලයෙකුගේ තත්ත්වයට පත් වී ඇති බව කියා ඇත.
උතුරු පළාත් සභාව නිසි ලෙස පවත්වා ගෙන යාමට නොහැකි ප්‍රධාන බාධක දෙකක් වී ඇති ආණඩුකාරවරයා සහ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරිය මාරු කරන මෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී එය ඉටු කරන බවට තමන්ට පොරොන්දු වූ ජනාධිපතිවරයා එම පොරොන්දුව ඉටු නොකළ බව විග්නේෂ්වරන් මෙහිදී පවසා ඇති බව එහි දැක්වෙයි.
එමෙන්ම, තමා ඉහත කී ඉල්ලීම සිදුකළ දිනට පසු දින පටන් ආණ්ඩුකාරවරයා යොදා ගනිමින් උතුරේ හමුදාමය පාලනයක් ගෙන යාමට උත්සාහ කරන අතරවාරයේ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරිය යොදා ගනිමින් රජයට අවශ්‍ය දේ පමණක් උතුරු පළාත තුළ සිදුකිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ මහජන බලාපොරොත්තු සුන් කරමින් වන බවද විග්නේෂ්වරන් පවසා ඇති බව බී.බී.සී.ය වැඩිදුරටත් පවසා සිටියි.