එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලයි
ඉදිරි ජනාධිපතිවරණයේදී නිරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයන් මෙරටට කැඳවන ලෙස සහ ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු කිරීමට දින 45 ක් ලබාදෙන ලෙසත් එක්සත් ජාතික පක්ෂය ඊයේ (01දා) මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය මෙවැනි ඉල්ලීමක් කිරීමට තීරණය කළේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පසුගිය 25 වැනිදා විවෘත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රචාරක කාර්යාලයට රජයේ ආයතනවල සේවය කරන නිලධාරීන් 70කට අධික පිරිසක් සහභාගී වී සිටීම ඉදිරි ජනාධිපතිවරණයද සාධාරණ ආකාරයට සිදුනොවන බවට ඉඟි පළවීම නිසා බවද එම පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
පසුගිය 25 වැනිදා බාන්ස් ප්‍ර‘දේශයේදී සිදුවූ මෙම ප්රචාරක කාර්යාලය විවෘත කිරීම සඳහා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ලේකම්වරුන් හත්දෙනෙකු සහ මහ බැංකුවේ අධිපතිවරයාත්, ස්වාධීන රූපවාහිනීයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් 62 කුත් සහභාගී වී සිටි නිසා ඒ පිළිබඳවත් ඊයේ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බවද පවසා සිටියේය.
පොදුරාජ්‍ය මණ්ඩලය සභාපතීත්වය දරණ රට ලෙස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරණ දෙස ජාත්‍යන්තරය බලා සිටින බවත්, විශේෂයෙන් ජනාධිපතිවරණයක් යනු මෙරට ජනතාවටත්, ජාත්‍යන්තරයටත් සුවිශේෂී කාරණාවක් බවත් කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
මේ නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් මෙරට තුළ පැවැත්වීම අනිවාර්යය බවත්, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකිරීම සඳහා දින 45 ක කාලයක් ලබාදෙන ලෙසටත් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු ආරම්භ වන මොහොතේ සිට එහි නිරීක්ෂණ කටයුතු සිදුකිරීම සදහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් යොදවන ලෙසටද ඉල්ලීමක් කළ බවද සඳහන් කළේය.