රටට අතිශය වැදගත්කමක් ඇති 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටට සම්මත කරදීම සඳහා ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා විපක්ෂනායකවරයාට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බවත්, මේ නිසා රට ගැන සිතා ඔවුන් කටයුතු කළ යුතු බවත් ජාතික හෙළ උරුමය සඳහන් කරයි.
මේ නිසා පක්ෂ නායකයන් ලෙස පක්ෂ සාමාජිකයන් එක් මතයකට ගෙනඒම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂනායකවරයා සතු කාර්යයක් බවත්, එසේ නොමැති වුවහොත් පක්ෂ සාමාජිකයන් වෙනත් මත දරන පිරිස්වල අවශතාවලට අනුව කටයුත කළ හැකි බවත් එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
ගැටලුකාරී තත්ත්වයක් මත සකස් වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ජනමතයට තුඩුදෙන කරුණු ඉවත්කර ශ්‍රෙෂ්ඨාධිකරණය යම් මතයක් ප්‍රකාශ කර තිබෙන බවත්, එහෙත් එම මතයට ගරු නොකර එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් අගමැතිවරයාට විධායක බලය ලැබෙන ආකාරයට විවිධ සංශෝධන ගෙනඒමට උත්සාහ කරන බවත් පවසා සිටියේය.
මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන මතයට පිටින් ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් නොකිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව ඉදිරි මැතිවරණයකින් පසු අගමැතිවරයාට අනිසි බලයක් ලබාදීමට ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් සකස් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පිරිස් විවිධ යෝජනා ගෙනඑන බවත්, එවැනි දේවල් සිදුකිරීම ව්‍යවස්ථා විරෝධී බවත් ඔහු පවසා සිටියේය.
මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කළහොත් එයට එරෙහිව ජනතාව ප්‍රතිචාර දැක්විය හැකි බවත්, එවැනි දෙයක් සිදුවුවහොත් එහි වගකීම එක්සත් ජාතික පක්ෂය විසින් භාරගත යුතු බවත් මහලේකම්වරයා සඳහන් කළේය.