දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් සමග පැවති සාකච්ඡාවේදී ලබාදුන් විසඳුම් මගින් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් අද (20 ) උදෑසන සිට යාපනය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන්හි සිසු සිසුවියන් එක්ව 25 වැනිදා දක්වා පංති වර්ජනයක නිරතව සිටිති.
මේ අතර විද්‍යා පීඨයේද සිවුවන වසරේ විභාගය අද දිනයේදී පැවත්වීමට නියමිතව තිබුණු අතර, සිසු සිසුවියන් විභාගයද වර්ජනය කිරීම හේතුවෙන් විභාගයද නොපැවත්වීමට පාලනාධිකරිය විසින් තීරණය කොට තිබේ.
අද උදෑසන 7.30 සිට 9.30 දක්වා යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් රැස්වීමක් කැඳවා ඊයේ (19) දිනයේදී දේශපාලන සිරකරුවන් පිළිබඳව ජනාධිපති තුමන් සමග පැවති සාකච්ඡාවේ තොරතුරු පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, අවසානයේදී සිසුන් තීරණය කොට ඇත්තේ අදාළ විසඳුම් පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බැවින් සරසවියේ සියලුම සිසුන් පංති වර්ජනයක නිරත වන බවටයි.
මේ අනුව ලබන 25 වැනිදා ජනාධිපති තුමන් විසින් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති හෙයින් 25 වැනිදා දක්වා යාපනය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් සියලුදෙනා පංති වර්ජනයක නිරත වන අතරම 25 වැනිදා යහපත් විසඳුමක් ජනාධිපතිවරයා විසින් ලබානොදෙන්නේ නම් ඉන් පසුව යාපනය සරසවි සිසුන් සියලු දෙනා එක්ව උපවාසයකට සූදානම් වන බවද අද පැවති රැස්වීමේදී යාපනය මහා ශිෂ්‍ය සංගමය තීරණය කර තිබේ.