වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තමන්ගේ බලය රැකගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේම ප්‍රතිපත්තිය මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ බලය වැඩි කරගැනීම නිසා අසීමිත ලෙස මහජන නියෝජිතයන්ට ඇමතිකම් සහ නියෝජ්‍ය ඇමතිකම් ලබාදුන් බවත්, මීට අමතරව තමන් වටේ සිටි පිරිසට උපදේශක, සම්බන්ධීකරණ නිලධාරී ආදී තනතුරු ලබාදෙමින් තුනෙන් දෙකේ බලයක් ඇති කරමින් ඒකාධිපති පාලනයකට රට ගමන් කරවූ බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම වැඩපිළිවෙළ පරාජයට පත් කිරීමට රටේ ජනතාව කටයුතු කළද, අලුතින් බලයට පත්වූ ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පිරිස්වලට අසීමිතව ලබාදුන් වරදාන වරප්‍රසාද වැඩපිළිවෙළ පරාජයට පත් කිරීමට කටයුතු නොකළ බවද පවසා සිටියේය.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තමන්ගේ බලය තර කරගැනීම සඳහා මේ වනවිට මන්ත්‍රීවරුන් 80කට අධික පිරිසකට කැබිනට්, නියෝජ්‍ය හා රාජ්‍ය වශයෙන් ඇමතිකම් ලබා දී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
සැප්තැම්බර් මාසයේදී අලුත් ආණ්ඩුවක් පත්වන බව රට හමුවේ පවසමින් මේ ආකාරයට මන්ත්‍රීවරුන් සතුටු කිරීමට වරදාන වරප්‍රසාද ලබාදෙන්නේ කුමකටද යන්න වහාම රටට හෙළිකළ යුතු බවත්, දින සියයකින් වර්තමාන ආණ්ඩුව් නිල කාලය අවසන් කරන බව සඳහන් කළද පෙරේදා (10දා) දිනයේත් නියෝජ්‍ය අමාත්‍ය ධුර හතරක් ලබාදුන් බව ඔහු පවසා සිටියේය.