ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින පරිවර්තනය පිලිබඳ තමා ඉතා සතුටුවන බවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බවත් ජනාපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මහතා ප්‍රකාශකර තිබේ.
බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගීවීමට ඉන්දියාවේ ගෝවා නගරයට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (16) රාත්‍රීයේ පැවැත්වුණු අතර එහිදී රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ රුසියාව ශ්‍රී ලංකාවට දැක්වූ කොන්දේසි විරහිත සහය වෙනුවෙන් මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා එම මිත්‍රශීලි සම්බඳතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව ද කියා සිටියේය.
මේ අතර චීන ජනාධිපති ෂි ජිං පිංග් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ද ඊයේ (16) රාත්‍රීයේ සිදු විය.
මිත්‍රශීලි රාජ්‍යයන් ලෙස දෙරටේ සමීප සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිලිබඳ මෙහිදී රාජ්‍ය නායක දෙපළ සාකච්ඡා කළ අතර චීන- ශ්ර්රී ලංකා මිත්‍රත්වයට වසර 60 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිත උත්සවයේ සංවිධාන කටයුතු පිලිබඳ ද සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්තවන වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් චීන රජය දක්වන සහය අගය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයේ දී ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට ද චීන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේය.
මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් චීන රජය දක්වන දායකත්වය අගය කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සංවර්ධන කටයුතුවලට චින රජයේ ආධාර යටතේ ක්‍රියාත්මකවන සංවර්ධන ව්‍යාපෘති මහත් ශක්තියක් බවද කියා සිටියේය.