දෙදින රාජ්ය චාරිකාවක් සඳහා ජෝර්දානයට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (05) පස්වරුවේ රාජකීය හෙෂෙමයිට් මාලිගයේදී දෙවැනි අබ්දුල්ලා ඉබ්න් අලි හුසේන් රජතුමා සමග නිල සාකච්ඡාවල නිරත විය.
ජෝර්දානයට ශ්රී ලංකාවෙන් ආනයනය කරන තේ සඳහා තීරු බදු සහන සැලසීම ගැන සලකා බලන්නැයි ජනාධිපති රාජපක්ෂ මහතා අබ්දුල්ලා රජතුමාගෙන් ඉල්ලීමක් කළේය.
දැනට ජෝර්දානයට තේ වැඩිපුරම සපයන රට ශ්රී ලංකාවයි. ශ්රී ලංකාව ජෝර්දානයට අපනයනය කරන නිෂ්පාදනවල මුළු වටිනාකමෙන් 80% ක්ම සමන්විත වනුයේ තේවලිනි. ජෝර්දානය ශ්රී ලංකාවෙන් මිලදී ගන්නා තේ ඉරාකය සහ පලස්තීනය ඇතුළු රටවලට ප්රති අපනයනය කරයි.
ශ්රී ලංකාවේ චාරිකාවක් සඳහා පැමිණෙන්නැයි ජනාධිපති රාජපක්ෂ මහතා අබ්දුල්ලා රජතුමාට ආරාධනාවක්ද කළේය. නුදුරු අනාගතයේදී මේ අවස්ථාව උදාකර ගැනීමට තමා කැමැත්තෙන් සිටින බව රජතුමා පැවසීය.