පළාත් පාලන ඡන්දයේදී ජනතාව විසින් දුන් තීරණය අනතුරු ඇඟවීමක් සේ සලකන බවත් ඒ පිළිබඳව ගැඹුරින් සිතා බලා කාර්යභාරය වඩාත් නිවැරදිව සහ වේගවත්ව ඉටුකර ලීමට කැපවන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා නිවේදනය කරයි.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් වරයාගේ නිවේදනය පහතින් දැක්වෙයි.
"පළාත් පාලන ඡන්දයේදී ජනතාව ලබාදුන් තීරණය අපි හිස නමා පිළිගනිමු. මෙමගින් ජනතාව අප වෙත දක්වා ඇත්තේ අනතුරු ඇඟවීමකි.
ඒ පිළිබඳ ගැඹුරින් සිතාබලා අපේ කාර්යභාරය වඩාත් නිවැරදිව සහ වේගවත්ව ඉටුකරලීමට අපි කැපවන්නෙමු.
පසුගිය කාලය තුළ අප සිදුකළ සේවාවන් හා කාර්යයන් බොහෝය. ඉන් සමහරක් ජනතාවට ප්‍රදර්ශනය වෙයි. මෙම ඡන්දයම ඊට කදිම උදාහරණයකි. මහා මුදල් කන්දරාවක් වියදම් කරමින්, එකම පක්ෂයේ අපේක්ෂකයන් අතරද ගැටුම් ඇතිකරවූ ක්‍රමයක් වෙනුවට යහපත් මැතිවරණ පරිසරයක් ඇති කිරීමට අපි සමත් වූයෙමු.
මැතිවරණය සඳහා රාජ්යදේපොළ හා සම්පත් අවභාවිතය සම්පූර්ණයෙන්ම පාහේ නැවැත්වූවෙමු. පසුගිය කාලයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්රගණනාවක අප විසින් සිදුකරන ලද එවැනි යහපත් දේ ගණනාවකි.
අප ඉටු කළ සමහරක් දෑ තවම ප්‍රදර්ශනය නොවෙයි. තව නොබෝ කලෙකින් ඒවායේ ප්‍රතිඵල ජනතාව හමුවේ දිස්වනු ඇත. ඒවායේ ප්රතිලාභ ජනතාවට දැනෙනු ඇත.
එසේම සපුරාලීමට නොහැකි වූ අසාර්ථක වූ දේ ද වෙයි. රාජපක්ෂ රෙජිමයෙන් වර්තමානයට උරුම වූ නිමක් නැති ණය කන්දරාව සහ නිරතුරුව පැමිණි ස්වාභාවික විපත්ද මේ තත්ත්වයට බලපෑවේය. නමුත් අතපසු වූ ඒ සියල්ල සපුරාලීමට හා සාර්ථක කර ගැනීමට අපි පූර්ණ වෙහෙස හා ශක්තිය දරන්නෙමු.
ජනවාරි 08 වැනිදා මෙරට ජනතාව සමාජ, ආර්ථික හා දේශපාලනික වෙනසක් සඳහා අප වෙත වගකීමක් පවරූහ. ඒ වගේම අගෝස්තු මහ මැතිවරණයේදී යළි තහවුරු කෙරිණි. අගොස්තු මාසයේ ජනතාව විසින් අප වෙත ලබාදුන් ජනවරමට අනුකූලව අප වෙත පැවරී ඇති කාර්යය ජනතාව වෙනුවෙන් අර්ථ පූර්ණ ලෙස ක්‍රියාවට නැංවීමට කැපවන බව සපථ කරන්නෙමු."