ඡන්ද රාජකාරි කටයුතු සඳහා යොදාගන්නා නිලධාරීන් ආණ්ඩුවේ නිලධාරීන් නොව රාජ්‍ය නිලධාරීන් බවත්, මේ නිසා දිනන කෙනා පරාජය කිරීමට කිසිවෙකුටත් උවමනාවක් නොමැති බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
ඡන්ද මධ්‍යස්ථාන තුළදී සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළදී හෝ ප්‍රතිඵල නිකුත් කිරිමේදී යම් යම් අක්‍රමිකතා සිදුවිය හැකි බවට ප්‍රචාරයක් දියත් වන බවත්, එහෙත් මැතිවරණයකදී සිදුකරන ආරක්ෂිත ක්‍රමවේදයන්වලට අනුව එවැනි දෙයක් සිදුනොවන බවත් කී ඒ මහතා මේ නිසා රටේ ජනතාව ඒ පිළිබඳව කුකුසක් ඇති කර නොගත යුතු බවද පවසා සිටියේය.
ඊයේ (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආපදා තත්ත්වයක් ඇති වී තිබීම නිසා ඡන්දය කල් දැමීමට යන බවට රට පුරා ප්‍රචාරයක් දියත් වුවද, එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.
ආපදා තත්ත්වයන් නිසා ජනතාව අවතැන් කඳවුරුවල රැඳී සිටියහොත් මැතිවරණ නීතිරීතිවලට අනුව අවතැන් වූ ජනතාව වෙනුවෙන් ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන ඇති කරන බවත්, ආපදා තත්ත්වය නිසා වලංගු හැඳුනුම්පත් අහිමිව ඇති ඡන්දදායකයන්ට තාවකාලික හැඳුනුම්පත් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.
ජනාධිපතිවරණයේදී ඡන්ද විමසීම සහ ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් ලක්ෂ 03කට අධික ප්‍රමාණයක් යොදාගන්නා බවත්, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 32,000 ක් යොදාගැනීමට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීම් කර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව අවශ්‍යතා ඇති වුවහොත් පොලිස්පතිවරයා හරහා හමුදා නිලධාරීන් යොදාගැනීමට කටයුතු කරන බවද, එසේ නොමැතිව හමුදා නිලධාරීන් ආරක්ෂක කටයුතුවලට යොදා නොගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
ඡන්ද රාජකාරි කටයුතු කරණන නිලධාරියෙකු නීති විරෝධී ක්‍රියාවක් සිදුකළහොත් ඔහුට මැතිවරණ නීතියට අනුව දඬුවම් කිරීමට කටයුතු කරන බවත්, එහෙත් දිනන අපේක්ෂකයෙකු පරාජයට පත්කිරීමට කිසිම නිලධාරියෙකුට අවශ්‍ය නොවන බවත් මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.