චීන ආර්ථික හා සමාජිය වශයෙන් විවිධ ඉලක්ක සම්පූර්ණ කර ගත්තද චීනය තවමත් සංවර්ධන වෙමින් පවතින රටක් බවත් ශ්‍රී ලංකාව ඇතුළුව අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල්හි පවතින අදිරයේ චීනය සිටින බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් සෙයුආන් මහතා පැවැසීය.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ පැවැති වැඩමුළුවකදී ඔහු මෙම අදහස් දැක්වීය. පොදු සංවර්ධනයේ අභියෝග ජය ගැනීම සඳහා චීනය ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් හා අත්වැල් බැඳ ගැනීමට සූදානම් බවත් තානාපතිවරයා පැවැසීය.
2017 වසර අවසන් විට ශ්‍රී ලංකාවේ සිදුකළ ඇති සමස්ත චීන ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් (රුපියල් බිලියන 2389.8) බවත් එම අයෝජනයන් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, ජලය, විදුලිය, වරාය ඇතුළු අනෙකුත් අංශයන්හි යටිතල පහසුකම් දියුණු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
චීන ආයෝජන මගින් ඉදිකළ නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුමෙන් 40%ක් පමණ සපුරාලන බවත් ඒ හරහා ශ්‍රී ලංකාවේ විදුලි කප්පාදුව අවසන් කිරීමට හැකි වූ බවත් තානාපතිවරයා පෙන්වා දුන්නේය.
එසේම කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරිම මගින් ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ විශාල දියුණුවක් ඇතිකිරීමට මාර්ගය උදාවී ඇති බවත් කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තය (චීන ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරය) ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන බහලුම් පර්යන්තය බවට පත්ව ඇති බවත් පැවැසීය.
මෑතකදී විවෘත කළ ශ්‍රී ලංකාවේ විශාලම ජලාශය වන මොරගහකන්ද ජලාශය හරහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මාන්තයට විශාල දායකත්වයක් ලබාදෙන බවත් දකුණු දුම්රිය මාර්ගය මෙන්ම දකුණු අධිවේගී මාර්ගය දකුණේ සංවර්ධනයට විශාල පිටිවහලක් වෙනු ඇති බවත් පැවැසීය.
කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය මෙන්ම ඉදිවෙන හම්බන්තොට කර්මාන්ත කලාපය ඉදිරියේදී ශ්‍රි ලංකා ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථාන බවට පත්වෙනු ඇති බවත් චීන ශ්‍රී ලංකා සහයෝගිතාව හරහා ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති නව රැකියා සංඛ්‍යාව 100,000ක් පමණ බවත් සඳහන් කළේය.
ලෝක ආර්ථිකය සඳහා 2017 වසරේදී චීන දායකත්වය 30%ක් බවත් චීනයේ සංවර්ධනය ලෝකයෙන් හුදෙකලා කළ නොහැකි බවත් චීනය මේ වන විට ලෝකයද සංවර්ධනය කරමින් තිබෙන බවත් පෙන්වාදුන් තානාපතිවරයා චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ නව සේද මාවත සංකල්පය වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් බවත් පෙන්වාදුන්නේය.