ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ලියෑන්ලන් මහතා ශ්‍රී ලංකාවේ නව රජය විවේචනය කරමින් පසුගියදා සිදුකළ කතාව පිළිබඳ රජයේ බලවත් කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා ඔහුවිදේශ කටයුතු අමාතාංශයට කැඳවීමට එම අමාත්‍යාංශය සූදානම් වෙයි.
ඉන්දීය සංචාරයකට එක්ව සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා නැවතත් ලංකාවට පැමිණි පසු මෙම සතියේදී චීන නාතාපතිවරයා කැඳවීමට නියමිත බව වාර්තා වේ.
චීන හා ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් පිරිසක් චීන තානාපතිකාර්යාලයේ පැවැති වැඩසටහනකදී ඔහුගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් චීන තානාපතිවරයා රජය විවේචනය කරමින් කරුණු සඳහන් කළේය. එහිදී ඔහු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාද විවේචනය කළේය.
ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගත් ණය පිළිබඳ මෙන්ම චීනය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ වැඩමුළුවේදී චීන තානාපතිවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.
චීනයෙන් වැඩි පොලියට ණය ලබාගෙන ඇති බවට රජය කළ ප්‍රකාශ පිළිබඳ තමන් මුදල් අමාත්‍යවරයාගෙන් විමසූ බවත්, ශ්‍රී ලංකාවට 2෴ ක පොලියට පවා චීනයෙන් ණය ලබාදී ඇති බවත් චීන තානාපතිවරයා මෙහිදී පැවසීය. චීනයෙන් වැඩි පොලියට ණය ලබාගෙන ඇත්නම් නැවතත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ ඇයිදැයි යනුවෙන්ද ඔහු ප්‍රශ්න කළේය.
චීන තානාපතිවරයා සඳහන් කළ කරුණු පිළිබඳ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මහනුවරදී විවේචනාත්මකව කරුණු සඳහන් කළේය.
කෙසේ නමුත් චීන රජය නියෝජනය කරමින් චීන තානාපතිවරයාට ශ්‍රී ලංකාව පිළිබඳ කිසියම් පැමිණිල්ලක් කිරීමට ඇත්නම් මුලින්ම විදේශ කටයුතු අමාත්‍යාංශය හමුවිය යුතුව තිබූ බව එහි ඉහළ පෙළේ නියෝජිතයෙක් පැවසීය. චීන තානාපතිවරයාගේ ප්‍රකාශය වෘත්තීයභාවයෙන් තොර වුවද, ඔහුගේ ප්‍රකාශයෙන් චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට කිසිදු ගැටලුවක් ඇති නොවුණු බවද එම නියෝජිතයා වැඩිදුරටත් කියා සිටියේය.
සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි