(UPDATE) පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ බවට සැකකළ කොටස් කිහිපයක චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ ඊයේ දිනයේදී දකුණු ඉන්දීය සාගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් අද දිනයේ නැවතත් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
මීට සති දෙකකට පමණ පෙර අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය සොයා ගැනීමට ඊයේ දිනය දක්වා ගත් සියලු ප්රයත්න අසාර්ථක වී තිබූ බව විදෙස් පුවත් සේවා අනාවරණය කළේය.
ඔස්ට්‍රේලියාව විසින් නිකුත් කළ චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව, ඉන්දීය සාගරයේ දකුණු කලාපය නැව් සහ ගුවන් යානා යොදා ගනිමින් දැඩි පිරික්සුමකට ලක් කළත් යානය සම්බන්ධයෙන් කිසිදු ලකුණක් වත් දක්නට ලැබී නැති බව අද අලුයම වනවිටත් වාර්තා වයි.
කෙසේ වෙතත්, රාත්‍රී කාලය උදාවීම නිසා ගුවන් මෙහෙයුම් තාවකාලිකව නවතා දැමුනද, අද උදෑසන සිට මෙහෙයුම් යළි ඇරඹෙන බවද බලධාරීන් පෙන්වා දී තිබේ.
ඊයේ (20දා) පාර්ලිමේන්තුව අමතා කතා කළ ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබොට් ,අතුරුදන් යානයේ වීමට ඉඩ ඇති කොටස් කිහිපයක් චන්ද්‍රිකා ඡායාරූපවලට හසුව ඇති බව අනාවරණය කළේය.
එම ප්‍රකාශය කරමින් අගමැතිවරයා, ‘වීමට ඉඩකඩ ඇති’ යන වචන අවධාරණය කළ බවද ඔස්ට්‍රේලියානු මාධ්‍ය මගින් කියවුණි.
ඒ අනුව, චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන ස්ථාන හසුකර ගැනීමට ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවේ යානයක් අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත වූ නමුත් කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව නිලධාරීහු ප්‍රකාශ කළහ.
ඔස්ට්‍රේලියාව අතුරුදන් වූ යානය සෙවීමේ මෙහෙයුම් පෙරට ගෙන යමින් සිටින්නේ, එම යානය පියාසර කරමින් තිබූ නියමිත දිශාවට සහමුලින්ම වෙනත් කලාපයක් වන ඉන්දියානු සාගරයේ දකුණු කලාපය ඔස්සේය.
යානයේ සුන්බුන් විය හැකි බව පැවසෙන කොටස් පිළිබඳව ඔස්ට්‍රේලියානු අගමැතිවරයා පැවසුවද, චීනයේ බෙයිජිං නගරයේ සිටි යානයේ ගමන්ගත් ගුවන් මගීන්ගේ ඥාතීන් එම පුවත විශ්වාස නොකළේය.
එහිදී, එක් චීන ජාතිකයකු බී.බී.සී.යට පවසා තිබුනේ අතුරුදන් ගුවන් යානයේ සිටි තම පුත්‍රයා තවමත් ජීවතුන් අතර සිටින බවට තමන් විශ්වාස කරන බවයි.
එමෙන්ම, ඔස්ට්‍රේලියානු චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන සුන්බුන් අතුරුදන් වූ MH370 යානයේ ඒවා විය නොහැකි බව පසුව මැලේසියාවද කියා සිටියේය.
ඊයේ සිදු කෙරුණ සෝදිසි මෙහෙයුම්වලට කුණාටු සහ දැඩි වර්ෂාවෙන් බාධා එල්ල වූ බවක්ද වාර්තා විය.
කෙසේ වෙතත් පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 වර්ගයේ යානය සොයා මේ වනවිට නෞකා 18ක්, ගුවන් යානා 29ක් හා නෞකාවල රැඳි හෙලිකොප්ටර් යානා 6ක් මෙහෙයුම්වල නිරත වන බව මැලේසියානු බලධාරීහු පැවසූහ.