වසර පහළොවකට පෙර මරදාන ප්‍රදේශයේදී සිය ඥාතියෙකු ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ එකම පවුලේ ඥාතීන් ඇතුළු පස්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය අද (31දා) මරණ දඬුවම නියම කළාය.
විත්තිකරුවන්ගේ වැඩිමහල් සහෝදරයා මැරූ පළිය ගැනීමට රාජගෝපාල් විජේරත්න නමැති මරණකරු ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරිය විත්තිකරුවන්ට මෙලෙස මරණීය දඬුවම් පැනවූවාය.
මරණ දඬුවමට අමතරව මාස හය බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් 5,000 බැගින් දඩ මුදල්ද නියම කළ විනිසුරුවරිය දඩ මුදල් නොගෙවුවහොත් මාස 06 බැගින් අමතර සිර දඬුවම්ද නියම කළාය.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ මරදාන, සංඝරාජ මාවතේ පදිංචිකරුවන් වන තිරුචෙල්වම් නිකලස්, වඩිවෙල් රවීන්ද්‍රන් හෙවත් රඝු, දිනේෂ් කුමාර්, සිංහතම්බි සහ රමේෂ් හෙවත් රවි නමැත්තන්ටය.
2001 මාර්තු මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මරදානේදී රාජගෝපාල් විජේරත්න නමැත්තාගේ මරණය සිදු කිරීම පොදු අරමුණ කරගත් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, එම පොදු අරමුණ ඉෂ්ඨ කරගැනීම සඳහා වූ නීතිවිරෝධී රැස්වීමේ සාමාජිකයන් ලෙස කටයුතු කරමින් රාජගෝපාල් විජේරත්න නමැත්තාගේ මරණය සිදු කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.