දූෂණ චෝදනා එල්ලකොට හිටපු ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.
යුද අපරාධ චෝදනා එල්ලකොට ඔහු අත්අඩංගුවට ගතහොත් ජාතික වීරයෙකු වන නිසා මේ ආකාරයට දූෂණ චෝදනා එල්ලකර අත්අඩංගුවට ගැනීමට යන බවත්, ඒ සඳහා අවශ්‍ය කරන ලිපිලේඛන මේ වනවිට සකස් කර තිබෙන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (07දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අභයතිස්ස හිමියෝ මේ බව කියා සිටියහ. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
“එතුමාගේ බැංකු ගිණුම්වලට මුදල් ආපු ක්‍රම ගැන වැරදි දෙයක් තියෙනවා නම් ඔප්පු කරන්න කියලා එතුමා කිව්වා. අදට එම අභියෝගය ඉදිරපත් කරලා සති 03 ක් වෙනවා. තවම ඒවා ඔප්පු කරන්න බැරිවුණා. මේ රට නිදහස් කරගන්න මුල්වෙච්ච මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, යුද හමුදාපතිතුමා ඇතුළු සියලු දෙනාම ආරක්ෂා කරන්න මහා සංඝරත්නය හැටියට අපට වගකීමක් තියෙනවා. මෙතනදි පළිගැනීම්වලට ගියොත් අවසානයේ අපේ රටයි විනාශ වෙන්නේ" යනුවෙන් පවසා සිටියහ.