ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තීරණ ගැනීමේදී පක්ෂයට වඩා රට ප්රමුඛත්වයෙහිලා සලකන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. දෙපාර්ශවය එක්ව රට හදන, රට ඉදිරියට ගෙනයන එම ක්‍රමවේදය සමඟ සියලුදෙන එක්විය යුතු බවත් අමාත්‍යවරයා පැවසූයේ ‘ගමේ පන්සල ගමට සවියක්’ වැඩසටහන හා එක්වෙමිනි. දූෂිතයන් දුටු තැන අල්ලා සිරභාරයට ගැනීම නොව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
“ ගෙදරක ප්‍රශ්න ඇති වුණාම එකපාරම දික්කසාද වෙන්නේ නැහැනේ. සාකච්ඡා මාර්ගයෙන් ඒ ප්‍රශ්න විසඳගන්නවා. ඒ වගේ තමයි වත්මන් ආණ්ඩුවත්. අපි අසතුටු දේවල් තියෙනවා. නමුත් ඒ දේවල් හදාගෙන ඉදිරියට යන්න අපිට හැකිවෙන්න ඕන. බොහෝදෙනෙක් හිතනවා වැරදි කරලා තියෙනවා කියලා දැනගත් ගමන් හිරේ දාන්න ඕන කියලා. නමුත් ඒ ක්‍රමවේදය අපි ඇති කරලා නැහැ. අපි කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. ඕනම පුද්ගලයෙකුට අපි නීතිය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා කිව්වා හිටපු ආරක්ෂක ලේකම්තුමා සහ හමුදා ප්‍රධානීන්ට මෙවැනි දේවල් කරනකොට ක්‍රමවේදයක් ඇතිව එය සිදු කරන්න කියලා. නමුත් ජනාධිපතිතුමා කියලා නැහැ වැරදි කරන පුද්ගලයෙක්ට කවදාවත් දඞුවම් දෙන්න එපා කියලා. එතුමා කියලා තියෙන්නේ කරන ක්‍රමය හරි විදියට කරන්න කියලා. ඒකාබද්ධ විපක්ෂය කියලා පක්ෂයක් ඇත්තටම නැහැ. ජනාධිපතිතුමයි, අගමැතිතුමයි අද තීරණ ගන්නේ පක්ෂය ගැන නෙවෙයි රට ගැන හිතලයි. ඒක නෙවෙයිද අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය යැයිද කීය