මාස 18ට දේශපාලඥයින් නිලධාරීන් හා ආයතන 209ක ගුවන් ගමන්
පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ වසරේ මැයි මාසය දක්වා රාජකාරි හෝ පෞද්ගලික ගමන් සඳහා දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන් හා ආයතන 209 ක් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා හා හෙලිකොප්ටර් යොදාගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.මින් මුදල් ගෙවීමකින් තොරව පුද්ගලයන් 40 දෙනෙකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හා ගුවන් යානා භාවිත කර ඇතැයිද විජයවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළ පිළිතුරේ සඳහන් වේ.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් උදය ගම්මන්පිල මහතා යොමුකර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මෙම කරුණු දැනුම් දුන්නේය. එම කාලය තුළදී මුදල් ගෙවා ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා ලබාගත් පුද්ගලයන් සහ ආයතන 169 ක් සිටින බවත්, ඔවුන් විසින් ගුවන් ගමන් වාර 352 ක් සඳහා රුපියල් 201,446,540 ක මුදලක් රජයට ගෙවා තිබෙන බවත් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.
රාජකාරි ගමන් සඳහා මුදල් ගෙවීමකින් තොරව ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හා ගුවන් යානා ලබාගත් දේශපාලඥයන් හා රජයේ නිලධාරීන් අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය ෆයිසර් මුස්තාපා, අමාත්‍ය ජෝන් අමරතුංග, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය හරින් ප්‍රනාන්දු, අමාත්‍ය සාගල රත්නායක, අමාත්‍ය සරත් ෆොන්සේකා, පොලිස්පති පූජිත ජයසුන්දර, අගවිනිසුරුවරයා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝද සිටිති.
මේ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය ගුවන් වාර 35ක්ද, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගුවන් වාර 13ක්ද, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වාර 16ක්ද, ශ්‍රී ලංකා මහ බැංකුව ගුවන් වාර 07ක්ද, සෞඛ්‍ය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශවල ලේකම්වරුන් ගුවන් වාර 04 බැගින්ද, මහින්ද රාජපක්ෂ මහතා වාර 11 ක් සඳහාද මුදල් ගෙවා ගුවන් යානා ලබාගෙන තිබේ.
මෙහිදී අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් රුපියල් 18,123, 142.56ක්ද, රිෂාඩ් බද්යුදීන් ඇමතිවරයා විසින් රුපියල් 6,130,108.24ක්ද, මහින්ද රාජපක්ෂ මහතා විසින් රුපියල් 5,253,283.48 ක්ද රජයට මුදල් ගෙවා තිබේ.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

