පාසල් ගුරුවරුන්ගේ උසස්වීම් අනුව ලැබිය යුතු හිඟ වැටුප් ගෙවීම සඳහා රුපියල් දහ අටකෝටි අටලක්ෂ පහළොස් දහස් අසූ හතරක මුදලක් පළාත් වෙත යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා ඊයේ (17දා) පාර්ලිමේන්තුවේදී මේ බව කීය.
එමෙන්ම මෙම මුදල් මෙතෙක් පාසල් ගුරුවරුන් වෙත ලැබී නොමැතිදැයි තමා වහාම සොයා බලන බවද අමාත්‍යවරයා පැවසීය.කෙසේ වෙතත් කළුතර, හොරණ, මතුගම අධ්‍යාපන කලාප තුළ පාසල් බොහෝමයක ගුරුවරුන් සඳහා හිඟ වැටුප් මෙතෙක් ලැබී නැතැයි ජයතිස්ස මන්ත්‍රීවරයා මෙහිදී කීය.
රේඛිය අමාත්‍යාංශය මගින් පළාත් වෙත යොමුකරන ලද මුදල් කලාප, පාසල් දක්වා බෙදාදීමේ කාර්යය පළාත් අමාත්‍යාංශ වෙත යොමු වී ඇති බවත්, මෙතෙක් එය ඉටු වී නොමැති නම් වහාම ඒ පිළිබඳ සොයා බලන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වසර 13 ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය ලබාදීමේ රජයේ තීරණය තුළ ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා තවත් ගුරුවරුන් 48,000 ක් පමණ ඉදිරියේදී බඳවාගන්නා බවද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.