ගල්අඟුරු වංචාව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාට එරෙහිව තමා සිදුකළ අපහාස නඩුව ගල්අඟුරු ගනුදෙනු පිළිබඳව මහජනතාවට සියලු සත්‍ය හෙළිකරන හා තොරතුරු දැනගත හැකි සාක්ෂි සභාවක් බවට පත්කරන බව ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහු වටා සිටින පිරිස් සිහිනෙකුදු හෝ නොසිතන පුද්ගලයන් මෙම නඩු විභාගයේදී සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කරන බවද මහලේකම්වරයා ඊයේ (24දා) හම්බන්තොටදී පවසා සිටියේය.
ජාතික හෙළ උරුමයේ හම්බන්තොට දිසා සමුළුව අමතමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 2009 වසරේ සිට මේ දක්වා සිදුව ඇති ගල්අගුරු ගනුදෙනු සම්බන්දව සියලු වාර්තා මෙහිදී තමන් හෙළිකරන බවයි.
සමහර පිරිස් කරුණු වසන් කරමින් අදහස් පළ කරන බව පැවසූ ඇමතිවරයා සියලු තොරතුරු හෙළිදරව් කිරීමට මෙය අවස්ථාවක් වූ බවද පවසා සිටියේය.