Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා
2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් නොරොච්චෝලේ විදුලිබලාගාරයට ගල් අගුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් අද(20දා) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
ගල් අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් තමා පත්කළ කමිටුවේ වාර්තාව මෙමස 29 වන දිනට පෙර තමාවෙත ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් එම කමිටුවේ වාර්තාව ලද පසුව අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශකළේය.
අදාළ ප්‍රකාශය පහත පරිදිය
නොරොච්චෝලේ නැත්නම් ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳ මේ දිනවල මාධ්‍ය මඟින් විවිධ අදහස් පලවන බැවින් ඒ පිළිබඳව ගරු සභාව දැනුවත් කිරිම වැදගත් යැයි සිතුවෙමි. මෙම බලාගාරයේ මෙ.වො. 900 ක ධාරිතාවය මුළුමනින් ක්‍රියාත්මක කිරීමට වසරකට ගල් අඟුරු මෙ.ටො ලක්ෂ 22 ක් පමණ අවශ්‍ය වේ. මෙම තොගය ප්‍රවාහනය කළ හැක්කේ මුහුද රළු නොවන වසරේ සැප්තැම්බර් මස සිට අප්‍රේල් දක්වා මාස 06, 07 ක කාල සීමාවක් තුල පමණි. මෙම විශාල අභියෝගය ජය ගත යුතුව ඇත.
ගල් අඟුරු ආනයනය ආරම්භ වූ 2009 සිට 2015 දක්වා කාලය සහ 2015 සිට අද දක්වා කාලය යන කාලය තුලදී ගල් අඟුරු මිලදී ගැනීම් පිළිබඳව වෙන් වෙන් වශයෙන් කරුණු පැහැදිලි කිරීම පහසු යැයි මම සිතමි. 2009 ප්‍රථම ටෙන්ඩරය සඳහා එක් ටෙන්ඩර් කරුවෙකු පමණක් ලංසු ඉදිරිපත් කිරීම සහ ඉතා ඉහල මිලක් ඉදිරිපත් කර තිබූ නිසා ටෙන්ඩරය අවලංගු කිරීමට සිදුවිය.
ඉන්පසු 2015 දක්වා ටෙන්ඩර් 05 ක් ක්‍රියාත්මක වූ අතර, ඒ සෑම වතාවකම අවසන් වශයෙන් ගල් අඟුරු සැපයුම හිමිවූයේ නොබෙල් රිසෝසස් නම් සමාගමටයි. එම සමාගම කිසිම ටෙන්ඩරයකදී ටෙන්ඩර් මණ්ඩලයේ තීරණයක් අනුව සෘජුව නොතේරුනත් අභියාචනා මණ්ඩලයේ තීරණ මත හෝ අමාත්‍ය මණ්ඩලයේ තීරණ මත හෝ අවසානයේ දිගින් දිගටම බලාගාරයට ගල් අඟුරු සපයන එකම ගල් අඟුරු සැපයුම්කරු බවට පත්වීම
විශේෂත්වයකි. මේ සෑම අවස්ථාවකදීම ටෙන්ඩරය අවලංගු කොට නැවත ටෙන්ඩර් කැඳවීමට තීරණය වී ඇත. මේ කාලයේදී ඊළඟ ටෙන්ඩරය පිරිනැමීමට ආසන්න වන විට සැපයුම්කරු එකඟ වූ සැපයුම් ප්‍රමාණය ලබා නොදීම මඟින් ගල් අඟුරු හිඟයක් ඇති කිරීම සාමාන්‍ය කරුණක් වී ඇත. මෙම තත්වය ලංකා විදුලිබල මණ්ඩලය, අමාත්‍යාංශය හා අමාත්‍ය මණ්ඩලයට ගල් අඟුරු හිඟයක් ඇතිවීම වලක්වා ගැනීම සඳහා නොබෙල් සමාගමට නැවත ටෙන්ඩරය ලබා දීමට පෙළඹවූ ප්‍රධාන සාධකයක් බවට පත් වී තිබූ බව පෙනී යයි.
මෙම කාලසීමාව තුල ගල් අඟුරු සැපයුමේ තිබූ ප්‍රශ්නගත තත්වයක් නිසා ලංකා විදුලිබල මණ්ඩලයට මහා පරිමාණ අලාභයක් විඳීමට සිදුවිය.
· නොබෙල් සමාගම 2011 ඇ.ඩො 68.50 / 73.40 මිල දර්ශකය මත පදනම් වූ මිලකට ගල් අඟුරු සැපයීමට එකඟව ගිවිසුම් ගතව තිබියදී එක්වරම ඇ.ඩො. 74.42 ස්ථාවර මිලකට ගල් අඟුරු මෙ.ටො. දෙලක්ෂ විසි දෙදාස් හත්සිය තිස් නවයක් සැපයීමට අවස්ථාව ලබා ගෙන ඇත.
· 2011 දී මුහුද රළු අවස්ථාවක ගෙන ආ ගල් අඟුරු නැව් 02 ක් ගොඩ බෑමට නොහැකි වීම නිසා නොබෙල් රිසෝසස් සමාගමෙන් ආපසු එම නැව් 02 ගෙන යාමට කල ඉල්ලීම ප්රත්ක්ෂේප වීමෙන් ටෝරියන් අයන් සහ ස්ටීල් සමාගමට මෙම ගල් අඟුරු තොගය පසුව ගැනීමේ පදනම යටතේ ලබා දීමෙන් අදටත් විසඳාගත නොහැකිව තිබෙන අර්බුදය නිසා ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව ඇති පාඩුව රු.මි.400 කට ආසන්නය.
· නියමිත පරිදි නොබෙල් සමාගමෙන් ගල් අඟුරු සැපයුම නොකිරිමෙන් 2011 සැප්තැම්බර් 28 සිට ඔක්තෝම්බර් 23 දක්වා බලාගාරය ක්‍රියාත්මක කිරිමට නොහැකි වී ඇති අතර, එම නිසා ලංවිමට සිදුවූ පාඩුව දළ වශයෙන් රු.මිලියන 3500 ක් බව කියවේ.
· 2014/2015 ගිවිසුම අනුව සැපයීමට එකඟ වූ ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙ.ටො ලක්ෂ 03 ක ප්‍රමාණයක් ලබා නොදීම නිසා සිදුවූ පාඩුව රු.මිලියන 12,500 ක් බව පැවසේ.
· ගිවිසුම්ගත පරිදි නොබෙල් සමාගමෙන් ගල් අඟුරු තොග නොලැබීම නිසා 2011 දී මෙ.ටො 81,688 ක්ද 2012 දී මෙ.ටො 59,358 ක්ද 2013 දී වරින් වර මෙ.ටො 55,984 ක්ද නැවත මෙ.ටො 32,828 ක්ද නැවත මෙ.ටො 55,11 ක් ද නිසි ටෙන්ඩර් පටිපාටියකින් හෝ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව හදිසි අවශ්‍යතාවය මත තෝරියම් සමාගමෙන් ඉහළ මිල ගණන් වලට මිලදී ගැනීමට සිදුවී ඇත.
2015 වසරේ සැපයුම සඳහා වූ ටෙන්ඩරය
මේ සඳහා 2014 නොවැම්බර් මස ටෙන්ඩර් කැඳවූ අතර, සමාගම් 08 ක් විසින් ටෙන්ඩර් ඉදිරිපත් කොට ඇත. එයට පැරණි සැපයුම් කරු වූ නොබෙල් සාමගම මෙන්ම වර්තමාන දිගුකාලීන සැපයුම්කරු වන ස්විස් සිංගප්පූර් සමාගමද ඇතුලත් විය. මෙහිදී නොබෙල් සමාගමේ ලංසුව 1987 පොදු කොන්ත්‍රාත් පනත යටතේ ලියාපදිංචි වී නොතිබූ නිසා ප්‍රතික්ෂේප වී ඇති අතර, තරඟය වැඩි කර ගැනීමේ අරමුණ ඇතිව නීතිපති උපදෙස් ලබාගැනීමෙන් පසු නොබෙල් සමාගමද තරඟය සදහා ඇතුලත් කර ගැනීමට ටෙන්ඩර් මණ්ඩලය තීරණය කර ඇත. ඊට අමතරව පළමු ලංසු ඇගයීම් වටයේද වාණිජ හේතුන් මත තවත් සමාගම් 04 ක් ප්‍රතික්ෂේප වී ඇත. මෙය ජාතික වටිනාකමකින් යුත් ටෙන්ඩරයක් බැවින් ටෙන්ඩර් ප්රදානයේදී ජාතික යහපත සාක්ෂාත් කර ගැනීම උදෙසා වූ අංක අමප/08/0072/301/004 සහ 2008.02.07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව යමින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන තරඟකාරීත්වය වැඩිකිරීම සඳහා එම සමාගම් 04 ද නැවත ටෙන්ඩර් ඇගයීමට ඇතුලත් කර ගැනීමට ටෙන්ඩර් මණ්ඩලය කටයුතු කර ඇත. (එම අමාත්‍ය මණ්ඩල තීරණයේ පිටපතක් සභාගත කරමි) ( ඇමුණුම 01 )
මෙම තරඟයේදී අඩුම මිල වාර්තා වී ඇත්තේ ස්විස් සිංගප්පූර් සමාගමේ ගල් අඟුරු මෙ.ටො 01කට ඇ.ඩො 82.47 හා ඊලඟට නොබෙල් සමාගම ඉදිරිපත් කල ඇ.ඩො 83.09 ලෙසය.
එහෙත් ගුණාත්මකභාවය පිළිබඳ ප්රමිතීන් 05 ක් ඇතුලත් කල විට මෙම මිල ගණන් ස්විස් සිංගප්පූර් සමාගම ඩොලර් 101.71 හා නොබෙල් සමාගම 89.96 ක් ලෙස විය. එහිදී එම මිල වෙනස් වීමට ප්‍රධානවම බලපා තිබුනේ ගල් අඟුරු කැටවල ප්‍රමාණය (Size) වූ පරාමිතියයි.
ටෙන්ඩර් ලේඛන වල අනිකුත් සියලුම නිර්ණායක මනින සහ වාර්තා කරන ක්‍රමවේදය නොහොත් ASTM ප්‍රමිතිය සඳහන් කර ඇති නමුත් ගල් අඟුරු වල කැටවල ප්‍රමාණය (Size) මනින ක්‍රමවේදය සඳහන් කොට නැත. ටෙන්ඩර් ලේඛනයේ සඳහන් කොට ඇත්තේ ගල් අඟුරු වල කැට වල ප්‍රමාණය (Size) මනින ක්‍රමවේදය පසුව දැනුම් දෙනු ලබන බවයි (to be notified). (ටෙන්ඩර් ලේඛනයේ අදාල පිටු සභාගත කරමි). ( ඇමුණුම 02 ) මේ නිසා කැටවල ප්‍රමාණය (Size) යන නිර්ණායකය ටෙන්ඩර් ලේඛනය අනුව ලංසු ඇගයීම සඳහා යොදා ගැනීමට නොහැකි බවට ටෙන්ඩර් මණ්ඩලයේ අදහස වී ඇත.
ප්‍රමාණය (Size) පිළිබඳ ඇති ජාත්‍යන්තර ප්රමිතීන් පිළිබඳ සොයා බැලීමේදි ටෙන්ඩර් මණ්ඩලයට නිරික්ෂණය වී ඇත්තේ විවිධ රටවල ගල් අඟුරු සැපයීමේ ගිවිසුම් 42 කින් කිසිම රටක කැට වල ප්‍රමාණය (Size) අනුව ගල් අඟුරු වල මිල අඩු වැඩි නොකරන බවයි.
එමෙන්ම ටෙන්ඩර් ලේඛනවල ගල් අඟුරු වල ප්‍රමාණය (Size) නිර්ණායකට අදාල සමීකරණයද වැරදි ලෙස වාර්තා කර ඇත. සමීකරණයේ (ගල් අඟුරු වල බර) “weight of the coal” යන වචනය වෙනුවට සඳහන් කොට ඇත්තේ (ගල් අඟුරු වල නියම ප්‍රමාණය) “actual size of the coal” යනුවෙනි. (ටෙන්ඩර් ලේඛනයේ අදාල පිටු සභාගත කරමි). ( ඇමුණුම 03 ) නමුත් ටෙන්ඩර් ඇගයීමට ලක් කරන අවස්ථාවේ මෙම වරද නිවැරදි කළ නොහැක. කිසිදු ලංසුකරුවකු ගල් අඟුරු කැටවල ප්‍රමාණය (Size) වැඩිවන ප්‍රතිශතය වාර්තා කර නොතිබූ අතර, වාර්තා කර තිබුනේ ඒ ඒ ප්‍රමාණයේ (Size) ගල් අඟුරුවල බර Weight ප්‍රමාණයයි.
එමෙන්ම පසුගිය වසර 5 තුළ ලංකා විදුලිබල මණ්ඩලය මිලදී ගෙන තිබූ ගල් අඟුරු නැව් තොග 78 න් නැව් තොග 02 ක පමණක් ගල් අඟුරු කැට වල ප්‍රමාණය (Size) අනුව මිල වෙනස් කර ඇත. මෙයින් ද පෙනී යන්නේ කැටවල ප්‍රමාණය (Size) මිල කෙරෙහි බලනොපාන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවට ගල් අඟුරු ගොඩබාන අවස්ථාවේ දී පසුගිය ගල් අඟුරු නැව් තොග 78 න් එකදු නැව් තොගයකවත් ගල් අඟුරු කැටවල ප්‍රමාණය (Size) ශ්‍රී ලංකාවේදී මැන බලා ගල් අඟුරු පටවන වරායේදී ලබාදුන් වාර්තාව ගොඩබාන අවස්ථාවේදී තහවුරු කර ගෙන නැත. අදටත් ගල් අඟුරු ගොඩබාන අවස්ථාවේ දී කැටවල ප්‍රමාණය (Size) නිර්ණායකය මැන බැලීමට ශ්‍රී ලංකාවේ අවශ්‍ය පහසුකම් නැති බවද ටෙන්ඩර් මණ්ඩලය නිරීක්ෂණය කොට ඇත.
එමෙන්ම තාක්ෂණික ඇගයුම් කමිටුව ලංසුකරුවන්ගේ ණය පොලිය ගනන් බැලිමේ දි මාස 03 ක පොලිය වෙනුවට මාස 12 කට පොලිය ගනන් බලා තිබුණි. මෙය ද නිවැරදි කර ගල්අගුරු වල කැටවල ප්‍රමාණය පිළිබදව නිර්නායකයට අදාල නිවැරදි කිරිම් ද සිදු කිරිමෙන් පසු අවසන් තාක්ෂණික ඇගයිම් වාර්තාව ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අනුව ස්විස් සිංගප්පුර් ආයතනය ඇ.ඩෝ. 82.87 ක අවම ඇගයිම් කළ ලංසුව ඉදිරිපත් කල ආයතනය වු අතර, නොබෙල් සමාගම දෙවැනි අවම ඇගයිම් කළ ලංසුව ඇ.ඩෝ. 83.25 ඉදිරිපත් කල තිබුණි. මේ අනුවප්රසම්පාදන මණ්ඩලය ස්විස් සිංගප්පුර් ආයතනයට ටෙන්ඩරය ලබා දිමට නිර්දේශ කර ඇත.
ප්‍රසම්පාදන මාර්ග උපදේශ වගන්ති 2.5 අනුව ප්‍රසම්පාදන මණ්ඩලයට තාක්ෂණ අගයිම් කමිටු වාර්තා පිළිබද නිර්දේශ කිරිමට, ප්‍රතික්ෂේප කිරිමට, සංශෝධන ඉදිරිපත් කිරිමට හෝ මග පෙන්විමට බලය ඇත. අදාල වගන්ති ගරු සභාවට ඉදිරිපත් කරමි. ( ඇමුණුම 04 )
ඉන්පසු අමාත්‍ය මණ්ඩලය මෙම තත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇත. ගල් අඟුරු වල අවශ්‍යතාවය සළකා බලා වසර 03 කට ගල් අඟුරු මෙ.ටො. ලක්ෂ 65 ක් මිලදී ගැනීමට කැඳවා තිබූ ටෙන්ඩරය වාර්ෂික අවශ්‍යතාවය වන ලක්ෂ 22 ප්‍රමාණය වසර 02 ක් තුල බෙදී යන ආකාරයට ලබා දිමටත්, මෙම වසර දෙකෙහි ඉතිරි 50% අවශ්‍යතාවය ක්ෂණික මිලදී ගැනීම් (Spot Tendering) මත ලබා දිමටත් තීරණය කලේය. එහි අදහස වූයේ ගල් අඟුරු සැපයීමේ ඒකාධිකාරය බිඳ දැමීමටත් ඒ වන විට ලෝකයේ ගල් අඟුරු වෙළඳපොලේ මිල අඩුවීමේ වාසිය සළකා සැපයුම් පිළිබඳ අවදානමකින් තොරව ගල් අඟුරු මිලදි ගැනීමයි. එය එතැනින් නොනැවතී අතිගරු ජනාධිපතිතුමාගේ නියමයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් ගල් අඟුරු මිලදී ගැනීමේ ඉතිහාසය සහ එහි වර්තමාන තත්වය පිළිබඳව සොයා බලා අවශ්‍ය නිර්දේශ ලබාදිමට පහත සඳහන් ත්‍රි පුද්ගල කමිටුවද පත් කරනු ලැබීය.
· ලලිත් ආර්. ද සිල්වා මහතා - සභාපති
(හිටපු අමාත්‍යාංශ ලේකම් හා හිටපු නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්)
· ඒ.එම්.ඩී. නයනකාන්ත මහතා - සාමාජික
(අතිරේක විගණකාධිපති)
· පී.බී.එස්.සී. නෝනිස් මහතා - සාමාජික
අධ්යක්ෂ (රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව)
එම කමිටුව විසින් 2015 දෙසැම්බර් 21 දාතමින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ පිටපතක් මම දැන් සභාගත කරමි. ( ඇමුණුම 05 )
තවද, මා විසින් සඳහන් කළ යුතු එක් කාරණයක් වන්නේ ප්‍රශ්නගත ගල් අඟුරු ටෙන්ඩරය ආරම්භ කරන ලද්දේ 2014 වසරේ අග භාගයේදීය. තාක්ෂණික ඇගයීම් කමිටුව හා ස්ථාවර අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුව පත් කරනු ලැබුවේ එම වකවානුව තුලදීය. ගල් අඟුරු මෙ.ටො ලක්ෂ 22 න් 50% දිගු කාලීන ස්ථාවර සැපයුම්කරුවන්ගෙන් සහා 50 % ක්ෂණික මිලදී ගැනීම් වලින් සපයා ගැනීමට වැයවූ මුලද ඇ.ඩො මිලියන 114 ක් පමණ වේ. මෙම ප්‍රමාණය පැරණි ක්‍රමයට නොබෙල් රිසෝසස් සමාගමෙන් මිලදී ගත්තේ නම් ඇ.ඩො. මිලියන 121.5 ක් ගෙවීමට සිදුවේ. ඒ අනුව ඇ.ඩො. මිලියන 7.5 ක නැත්නම් රුපියල් මිලියන 1100 කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවී ඇත.
බලාගාරය පටන් ගත්තායින් පසුව ප්‍රථම වතාවට මුළු ධාරිතාවයම ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය වන ගල් අඟුරු මෙ.ටො ලක්ෂ 22 ම මාස 07 ක් තුල සම්පූර්ණයෙන් සපයා ගැනීමටද මෙමඟින් අවස්ථාව සැලසුනි. මෙම බලාගාරයේ යන්ත්‍ර 03 ම එක් දිනකදී නතර කිරිමට සිදුවුහොත් ලංවිමට සිදුවන අලාභය රු. දශලක්ෂ 300 ක් පමණ වන බව මෙහිදි කල්පනා කිරිම වැදගත්ය. තවද, එක් අයෙක්ට සීමා වී තිබූ ගල් අඟුරු සැපයුමේ ඒකාධිකාරය තරඟ කරුවන් 10 කට වැඩි පිරිසක් තරඟ වදින විනිවිදභාවයෙන් යුත් සරළ මිලදි ගැනීමේ ක්‍රමයක් බවට පත් කර ගැනීමට අපට හැකි විය.
මාධ්‍ය වාර්තා කර තිබුනේ ප්‍රශ්නගත දිගුකාලීන ටෙන්ඩරය ටොන් 01 ක් සඳහා ඇ.ඩො. 58 ක් ලබා දී ඇති අතර Spot Tender ටොන් 01 ක් සඳහා ඇ.ඩො.51.25 කට ලබා දී ඇති බවයි. මේ අනුව ඔවුන් සඳහන් කරන්නේ ඇ.ඩො. 58 න් ඇ.ඩො. 51.25 ක් අඩු කිරිමෙන් ටොන් 01 ක් සඳහා ලැබෙන ඇ.ඩො. 6.75 ක මිල වෙනස නිසා රජයට ආසන්න වශයෙන් රු මිලියන 1,803 ක අලාභයක් සිදු වී ඇති බවයි.
ටෙන්ඩර් 02 ක් අවස්ථා 02 ක දී කැඳවන විට මිල ගණන් 02ක් ඉදිරිපත් වීම පුදුම වියයුතු කරුණක් නොවේ. එම නිසා දෙවතාවකදී කැඳවන ලද ටෙන්ඩර් 02 කට ලැබුණු මිළගණන් වල වෙනස පාදක කර ගනිමින් එය රජයට සිදු වූ ලාභයක් හෝ අලාභයක් ලෙස ගණනය කර වාර්ථා කිරීම නිවැරදි නොවේ.
දිගු කාලීන ටෙන්ඩරයට ලබා දී ඇති ඇ.ඩො 58 නියම මිලක් නොවන අතර, නියම මිල ගණනය වන්නේ පහත සඳහන් ආකාරයට සුත්‍රයකට ආදේශ කිරීමෙනි.
X මිලදී ගන්නා මාසයේ දර්ශක මිල
ඇ.ඩො 58
ටෙන්ඩරය පිරිනැමූ මාසයේ ගල් අඟුරු මිල දර්ශක මිල
ඒ අනුව මිල අඩු වූ අවස්ථාවන් වලදී අනිවාර්යයෙන් ගෙවීමට සිදුවන්නේ ඇ.ඩො 58 ට හෝ අඩු ඊට වැඩි මුදලකි.
ක්ෂණික මිල තීරණය වන්නේ ඒ ඒ මාසයේ ගල් අඟුරුවල පවතින මිල අනුවයි. සමහරු අලාභයක් ලෙස සදහන් කර ඇත්තේ ක්ෂණික එක් ටෙන්ඩරයකට ලැබුන මිලක් අහඹු ලෙස ගෙන එම මිල දිගු කාලීන සැපයුම්කරුගේ පදනම් මිල වන ඇ.ඩො. 58 න් අඩුකර එම වෙනස මෙම ටෙන්ඩරයේදී මිලට ගත් ගල් අඟුරු තොගයෙන් වැඩි කිරීමෙනි. එය කෙතරම් නොමඟ යවන සුළු පෙන්වීමක් දැයි පැහැදිලි කර ගැනීම අපහසු නැත. යම් හෙයකින් ලොව ගල් අඟුරු මිල වැඩිවී එක් මසක ක්ෂණික මිලදී ගැනීමක් ඇ.ඩො. 70 ක් වූයේ නම් ස්ථාවර දිගුකාලීන මිල හා එහි වෙනස පමණක් ගෙන ස්ථාවර මිලදී ගැනීම නිසා මෙතරම් ලාභයක් ලැබුණා යැයි කීමටද කෙනෙකුට පුළුවන. අද ජාත්‍යන්තර ගල් අඟුරු මිල පුරෝකථන අනුව ඉදිරි අගෝස්තු සැප්තැම්බර් මාස වල AP14 දර්ශක මිල ඇ.ඩො 64 ක් 65 ක් දක්වා වැඩි විය හැක. එවිට මෙම ගණන් බැලීම් මුළුමනින්ම වෙනස් විය හැක.
විගණන විමසුමේ කරුණු ගෙන එය විමසුමක් නොව විගණන වාර්තාවක් සේ සළකා විශාල මතයක් ගොඩනගා ඇති බව පෙනේ. විගණන විමසුමක තොරතුරු මත අදාල අයගෙන් විමසීම අවසාන තීරණය නොවන බව අප හොඳින් කල්පනා කළ යුතුය. 2016.01.19 වන දින විගණන විමසුම යවා ඇත්තේ ලංවිම සභාපතිවරයා වෙත වන අතර, එහෙත් එය අදාල වන්නේ ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයාටයි. ලංවිම සභාපතිවරයා ඒ බවට සටහනක්ද සහිතව ආපසු විගණන අධිකාරිවරයා වෙත යවා ඇත. ඊට අමතරව විගණන අධිකාරිගේ POE/C/CEB/COAL-SPOT/2016/2 සහ 2016.03.02 දිනැති විගණන විමසුමටද ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති විසින් 2016.04.01 දාතමින් පිළිතුරු යවා ඇති ඇති බව සඳහන් කළ යුතුය. (එම පිළිතුරෙහි පිටපතක් මම සභාගත කරමි) ( ඇමුණුම 06 )
තවද, 2016.04.08 වන දින අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවති විගණන කළමනාකරණ කමිටුවේදීද විගණන විමසුම්වලට නොපමාව පිළිතුරු යවන ලෙස ගල් අඟුරු සමාගමේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. කෙසේ වුවද 2016.01.19 දිනැති ලිපියට පිළිතුරු ගල් අඟුරු සමාගම විසින් යවා නොමැති බව දැන ගැනීමෙන් පසු අමාත්‍යාංශය වෙත ඇති තොරතුරු අනුව සකස් කරන ලද පිළිතුරු 02 ක් අමාත්‍යාංශ ලේකම් විසින් විගණකාධිපති වෙත යොමු කර ඇත. එයද මම සභාගත කරමි. ( ඇමුණුම 07 හා 08 )
මුලින් සඳහන් කල නොබෙල් රිසෝසස් සමාගම තමන්ට අසාධාරණයක් වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පෙත්සම ශ්රේෂ්ඨෘධිකරණය නිශ්ප්‍රභ කරන ලද බව කවුරුත් දන්නා කාරණයකි.එහෙත් ගරු අධිකරණය ටෙන්ඩර් පරිපාටිය ක්‍රියාත්මක වූ ආකාරය ගැන දැඩි අවධානය යොමු කොට වැදගත් නිර්දේශ කිහිපයක් ලබා දි ඇත.එම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා සිටි අතර, ඊට පිළිතුරු වශයෙන් ඔහුගේ උපදෙස වූයේ,
· ස්විස් සිංගප්පූර් සමාගම සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ එකඟත්වය මත මූල්‍ය බැඳීම් හෝ ලංවිමට පාඩුවක් සිදු නොවන ආකාරයට ගිවිසුම අවලංගු කිරීම හෝ
· එවැනි එකඟතාවයකට ඒමට නොහැකි නම් 2017.04.30 වන දින එළඹ ඇති ගිවිසුමේ කාලය අවසන් වූ පසු ගිවිසුම අවසන් කිරිම සහ
· මේ පිළිබඳ සුදුසු පරිදි අමාත්‍ය මණ්ඩලය දැනුවත් කොට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම.
ඉහත සඳහන් පරිදි ක්‍රියාකරමින් රටට වඩාත් වාසිදායක තීරණය නොබියව ගැනීමට අප ක්‍රියාකරන බව ද දන්වා සිටීමට කැමතියි.
ගරු අධිකරණය මෙම ටෙන්ඩර් පරිපාටිය ගැන පෙන්වා දි ඇති කරුණ ලලිත් ආර් ද සිල්වා කමිටුවේ ද විශේෂ අවධානයට යොමු වි ඇති අතර, මෙම ටෙන්ඩරය ගැන පමණක් නොව සමස්ථ ටෙන්ඩර් පරිපාටිය සදහා ද විහිදි ගිය හුදු කරුණු ලෙස සදහන් කර ඇත.මෙම කාරණය පිළිබදව අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ලලිත් ආර් ද සිල්වා කමිටුව මගින් ඉදිරිපත් කරන ලද 2015.12.21 දිනැති වාර්තාවේ 15 වන පිටුවේ පළමු ඡේදයේ සදහන් නිර්දේශයක් ද මම මෙහි පහත උපුටා දක්වමි.
“රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ සහ ප්‍රසම්පාදන අත්පොතෙහි දැක්වෙන කරුණුවල අවිනිශ්චිතාවයන් තිබීමද, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ ලැයිස්තු ගතකර ඇති ප්‍රධාන වෙනස්කම් (Major Deviations) මෙම ටෙන්ඩර් ලේඛනවල පැහැදිලිව සඳහන් කර නොතිබීමද, එසේම අතීත පළපුරුද්ද ද්‍රවශීල වත්කම් සපයාගෙන තිබීම වැනි ඇතැම් ටෙන්ඩර් කොන්දේසි සම්බන්ධ නිර්ණායකයන් ටෙන්ඩර් ලියකියවිලි වල ඇතුලත් කර නොතිබීම ද මෙම ටෙන්ඩරය අශ්‍රිතව ඇතිවී ඇති අර්බුදයට හේතුවී ඇති බව මෙම කමිටුවේ අවධානයට යොමු විය.
එබැවින් මෙම කමිටුව, ප්‍රසම්පාදන අභියාචනා කමිටු වාර්තාවේ හෝ වෙනත් වාර්තාවල නම් සඳහන් නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම නිර්දේශ නොකරයි ”
ඉදිරියේ දි මෙම අමාත්‍යාංශයේ ටෙන්ඩර් කැදවිම් ක්‍රියාවලියේ දි ඉහත වාර්තා වල සදහන් අඩුපාඩු සම්පුර්ණ කර නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කිරිමට අප අමාත්‍යාංශය කටයුතු කරන බව සදහන් කරමි.
මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය තුලින් තවදුරටත් රටට අලාභයක් සිදුවී ඇත්දැයි සොයා බැලීමට ම විසින් පහත සඳහන් ත්‍රිපුද්ගල කමිටුවට පත්කිරීමට යෙදුණි.
මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්.පෙරේරා මහතා - සභාපති
මහාචාර්ය ලක්ෂ්මන් ආර් වටවල මහතා - සාමාජික
මහචාර්ය ජනක බී. ඒකනායක මහතා - සාමාජික
එම කමිටුව විසින් මෙම කාරණයට අදාල සියළුම තොරතුරු සළකා බලනු ඇත. කමිටුවේ වාර්තාව මෙම ජුලි මස 29 වන දිනට පෙර මා වෙත ලබා ගැනීමට අපේක්ෂා කරමි. එම කමිටුවේ වාර්තාව ලද පසුව අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට බලාපොරොත්තු වන අතර, අවසන් තීරණ ගැනීම සඳහා කෙටි සාධාරණ කාලයක් අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය තුල කිසිවකු වරදක් කර ඇත්නම් ඊට නිසි පියවර ගැනීම මෙන්ම යම් කිසිවකු සාධාරණ අරමුණු පෙරදැරිව සද්භාවයෙන් ක්‍රියාකර ඇත්නම් ඒ පිළිබඳ ගැඹුරින් සොයා බලා කටයුතු කිරීම එකසේ වැදගත් වන නිසාය. එවැනි ප්‍රවේශයක් දේශපාලනඥයින්ට රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම සමස්ත ප්‍රජාවටම හිමිවිය යුතු පොදු අයිතිවාසිකමක් ලෙස මම සළකන්නෙමි. එසේ නැතහොත් අප වැනි රටක ජාතියේ ඉදිරි ගමනට අවශ්‍ය වන තීන්දු තීරණ ගන්නා මිනිසුන් සොයාගැනීම දුෂ්කර වනු ඇත. මෙම ප්‍රකාශය සකස් කිරීමේදී අමත්‍යාංශයේ අනෙකුත් කටයුතු වලදී මෙන්ම මමත් මාගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා මැතිතුමාත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට අවශ්‍ය කරුණු සොයා බැලූ බවද සඳහන් කිරීම වැදගත් යැයි මම සිතමි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd