ගංවතුර හා නායයෑම් හේතුවෙන් රටේ සමස්ථ ආර්ථිකයට සිදුවූ හානිය පිළිබඳ තක්සේරු වාර්තාවක් මෙතෙක් සකස් කිරීමට නොහැකි වී ඇති බව රජයේ ඉහළපෙළේ ආරංචිමාර්ග 'අද'ට පැවසීය.එම වාර්තාව පසුගියදා (02දා) වනවිට සකස් කරන ලෙස අගමැති රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබුණද, ඒ වනවිටත් ආපදා තත්ත්වය පහව ගොස් නොතිබූ බැවින් අදාළ තොරතුරු ලබාගැනීම මන්දගාමීව සිදුව ඇතැයි වාර්තා වේ.
පසුගිය දිනයන්හිදී ඇතිවූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් ආර්ථිකයට සිදුවූ අලාභහානි දිස්ත්රික් මට්ටමින් අදාළ දිසාපතිවරුන් මාර්ගයෙන් පසුගිය 02 වැනිදාට පෙර ලබාදෙන ලෙස අග්රමාත්ය ලේකම් සමන් ඒකනායක මහතා උපදෙස් දී තිබුණද, මේ වනවිටත් අදාළ තොරතුරු ලැබෙමින් පවතින බැවින් සම්පූර්ණ වාර්තාවක් සැකසීමට නොහැකි වී තිබේ.
ඇතැම් ප්රදේශ වෙත ළඟාවීමට පවා දුෂ්කරතා පැවැති බැවින් ආපදා තත්ත්වය පහව ගියපසු ග්රාමීය මට්ටමින් අදාළ තොරතුරු ලබාගැනීමට නිලධාරීන් කටයුතු කරමින් පවතින බවද 'අද'ට වාර්තා වේ.එලෙස දිස්ත්රික් මට්ටමින් ලැබෙන තොරතුරු ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් විධිමත්ව සම්පාදනය කර රටේ ආර්ථිකයට සිදුවූ සමස්ත පාඩුව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ලබාදීමට නියමිතය.
ඒ අනුව ආර්ථිකය සිදුවූ බලපෑම සම්බන්ධ වාර්තාව මේ මස 15 වැනිදා වනවිට බාරදෙන බවට ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව අග්රාමාත්ය ලේකම්වරයාට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් අග්රාමාත්ය ලේකම් සමන් ඒකනායක මහතාගෙන් 'අද' කළ විමසීමේදී හෙතෙම මෙසේ පැවසීය. "ආපදා තත්ත්වය තවම ගණනය කර නැහැ. මේ සම්බන්ධයෙන් අදාළ අංශ විසින් සකස් කරන වාර්තාව මේ මස 15දා වනවිට ලබාදෙනවා කියා දැනුවත් කර තිබෙනවා. පසුගිය සිකුරාදා වනවිට එම වාර්තාව ලබාදෙන ලෙස සියලුම නිලධාරීන්ට දැනුවත් කර තිබුණත් ඒ වනවටිත් ආපදා තත්ත්වය තිබුණු නිසා තොරතුරු නිවැරදිව ලබාගන්න බැරිවුණා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව අතුරු වාර්තාවත් ලබාදුන්නා. සම්පූර්ණ වාර්තාව ලබාදෙන්න තවත් කාලය ගතවේවි."