සේවකයන් 1682දෙනෙකුගේ රැකියා අහිමි කරමින් 1990 මාර්තු 20 වැනිදා වසා දැමුණු ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සේවය කළ සියලු දෙනාට හිඟ මුදල් සහ විශ්‍රාම මුදල් ලබාදෙන බවට වත්මන් ආණ්ඩුව පොරොන්දු ලබාදී තිබුණද, මේ දක්වා එම මුදල් ලබා දී නැතැයි සමස්ත ලංකා එක්සත් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පී.එල්.එස්. පෙරේරා මහතා පැවසීය.
ජනාධිපති ලේකම්වරයා විසින් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත 2014-02-30 දිනද, පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස්වරයා විසින් මහවැලි සංවර්ධන අධිකාරිය වෙත 2015-09-23 දිනද ලිපි මගින් මේ පිළිබඳව දැනුම්දීම් කර තිබුණු බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
ඉදිරි දින කිහිපයේදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් මේ මස 28 වැනිදා ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරිය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බවත්, ඉන් මාස තුනක් ඇතුළතදී වන්දි මුදල් ගෙවා අවසන් නොකළහොත් මහවැලි සංවර්ධන අධිකාරිය ඉදිරිපිට හෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දහස් ගණන් සේවකයන් සමග එක්ව අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවද පෙරේරා මහතා ප්‍රකාශ කළේය.