මීගහකිවුල කෝමාරීක ගොවි ජනපදයට දියවර සපයන ප්‍රධාන ඇළ මාර්ගයේ වැල්ලේවෙල ඩී-02 ප්‍රධාන අතුරුඇළ මැද ඊයේ (14දා) සවස අඩි 15 ක පමන විෂ්කම්භයෙන් යුතුව විශාල ගිලා බැසීමක් සිදුව තිබේ.
ඇළ මාර්ගය ඔස්සේ ගලා යන ජලය ඒ තුළට ගලා ගොස් අතුරුදන් වන බව ව්‍යාපාරයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර මාධව ඉන්දික රත්නායක මහතා පැවසීය.
මෙම ගිලා බැසීම සිදුවීමත් සමගම ඊයේ (14දා) ඇළ මාර්ගයේ ජල සැපයුම මුළුමනින්ම අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර අද (15දා) දිනයේදී ගොවීන්ගේ ඉල්ලීම මත යළිත් ජල සැපයුම යථා තත්ත්වයට පත්කලද ගිලා බැසීම ක්‍රමයෙන් වර්ධනය වීම නිසා නැවත වතාවක් ජල සැපයුම අත් හිටවූ බවද ව්‍යාපාර කළමනාකාරවරයා පැවසීය.
ලොග්ගල්ලා ඔය අමුණේ සිට කිලෝමීටර් 5.255 ක් පහළින් ආරම්භවන ඩී-02 ක අතුරුඇළ මාර්ගයේ මීටර් 50 ක මෙම ගිලා බැසීම සිදුව ඇති අතර එම ස්ථානය මුළුමනින්ම ගිලාබැසීමට ලක්ව අඩි 15කට අධික විෂ්කම්භයෙන් යුත් ආවාටයක් සෑදී තිබේ.
මේ වනවිටත් එහි අවට ප්‍රදේශය කැඩී යමින් ආවාටය තුළට පස් කඩා වැටෙමින් පවතින අයුරු එහි ගිය අපට දැකගත හැකිවිය.
මේ වනවිට ඇළ මාර්ගයේ ජල සැපයුම අත්හිටුවා ඇතත් ගිලා බැසීම දිගටම සිදුවන අතර අද (15දා) දහවල් වනවිට එම ස්ථානයේ අඩි 35ක් පමණ ගැඹුරට පස් කඩා වැටී තිබුණි.
නිශාන්ත කුමාර