විවෘත වෙළඳ පොළෙන් රුපියල් කොටි 1 - 1.5ත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 26.5 අධික මුදලක් වැය කිරීමෙන් විශාල වංචාවක් සිදු කොට ඇති බව ඒක පුද්ගල විමර්ශන කමිටුවක් මඟින් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට දැනුම් දී ඇත.
වැඩි වටිනාකමක් යටතේදි 2007 වසරේදී මෙසේ දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගෙන ඇති බව පෙන්වා දෙන එම ඒක පුදගල කමිටුව වංචාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර වගකිවයුතු සියළු දෙනාට දඬුවම් නියම කිරීමටද නිර්දේශ කොට ඇත.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් ඒක පුද්ගල විමර්ශන කමිටුව විසින් සිය වාර්තාව මඟින් අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට මේ බව දැනුම් දී ඇති අතර අමාත්‍යවරයා එම වාර්තාව පාර්ලිමෙන්තුවට යොමු කොට ඇත.
රේගු දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ සමන්ත ගුණසේකර මහතා කළ පැමිණිල්ලකට අනුව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම ඒක පුද්ගල කමිටුව පත් කොට ඇත්තේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේදී හා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීමේදී නීතීයට පටහැනිව කටයුතු කර ඇද්ද යන්න සොයි බැලීම සඳහාය.