තමන්ගේ නිවාසවල සිටියත්, කුලී නිවාසවල සිටියත්, අනවසර නිවාසවල සිටියත් ගංවතුරෙන් පීඩාවට පත් කොළොන්නාවේ පවුල් සඳහා ලබා දෙන රුපියල් 10,000 ක මුදල් දීමනාව ලබාදෙන බව කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.මෙලෙස කුලී හා අනවසර නිවාස හිමියන්ට වන්දි මුදලක් ලබාදෙන්නේ ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට බවද ඔහු සඳහන් කළේය.
එසේම එම මුදල් ලබාදීම දින 10ක් ඇතුළත් අවසන් කරන බවත්, ගංවතුරෙන් විපතට පත්වූ පවුල් 34000ක් වෙනුවෙන් එම මුදල් ලබාදෙන බවත් මන්ත්රීවරයා පැවසීය. ගංවතුරින් විපතට පත් කොළොන්නාව ජනතාව වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමේ අවස්ථාවට පසුගිය සෙනසුරාදා (18 දා) එක්වෙමින් මන්ත්රීවරයා මේ බව පැවසීය.
එම මුදල් ලබාදීමෙන් පසුව විපතට පත් ජනතාවගේ ගැටලුවලින් සැලකිය යුතු ප්රමාණයක් අවසන් වනු ඇති බවත්, තක්සේරු කටයුතු අවසන් වීමෙන් පසුව ඉතිරි මුදල්ද ලබාදෙන බවත් මන්ත්රීවරයා සඳහන් කළේය. එහිදී හානි වූ භාණ්ඩ සඳහාද වන්දි ලබාදෙන බව මරික්කාර් මහතා පැවසීය.
එසේම හානියට පත්වූ මාර්ග නැවත සකස් කිරීම සඳහා රුපියල් කෝටි හයක මුදලක් වෙන්කර ගත් බවත්, පූර්ණ වන්දි ගෙවා අවසන් වීමෙන් පසුව යටිතල පහසුකම් සංවර්ධනය කර පාසල්, වෙහෙර විහාරස්ථාන, අනෙකුත් ආගමික ස්ථාන දියුණු කරන බවත් ඔහු පැවසීය. මේ වන විට වෙහෙර විහාරස්ථාන 35කට වන්දි මුදල් ලබාදීම අවසන් කර ඇති බවද මන්ත්රිවරයා පෙන්වා දුන්නේය.
අනවසර ඉදිකිරීම්, ගොඩකිරීම් හා ගංගා ඇළදොළවලට කරනු ලැබූ විනාශයට ස්වභාවධර්මය විසින් දුන් දඬුවමක් ලෙස ගංවතුර තත්ත්වය හැඳින්විය හැකි බවත්, එය වෙස්වලා ගත් ආශිර්වාදයක් බවට පරිවර්තනය කරගත යුතු බවත් මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.
කොළොන්නාවේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 8ක ආධාරත්, රුපියල් මිලියන 41ක වියදමින් කිත්තම්පහුව ඇළ මාර්ගය පිරිසුදු කිරීමේ කටයුතුත් මේ වන විට ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය. වසර තුනක කොළොන්නාව සංවර්ධන සැලැස්ම යටතේ කොළොන්නාව දියුණු කළ හැකි බවට විශ්වාස කරන බවද මන්ත්රීවරයා වැඩිදුරටත් පැවසීය.