කොලොම්බියානු රජය සහ එරට විශාලතම කැරලි කණ්ඩායම ලෙස සැලකෙන ෆාක් ගරිල්ලන් අතර නව සාම ගිවිසුමක් අත්සන් කිරීම සිදුව තිබේ.
මීට පෙර අත්සන් කෙරුණු සාම ගිවිසුම කොලොම්බියාවේ ජනතාව විසින් ඔක්තෝබර් 02 වැනිදා පැවති ජනමත විචාරණයේදී ප්‍රතික්ෂේප කරනු ලැබීය.
දශක පහක් පුරා මිනිස් ජීවිත 260,000ක් අහිමි කරමින්, මිලියන ගණනක් ජනතාව අභ්‍යන්තර අවතැන් කළ ගැටුම් අවසන් කරමින් මෙම සාම ගිවිසුම ක්‍රියාත්මක වීම ඇරඹී තිබේ.
කොලොම්බියාවේ, බොගෝටා අගනුවරදී සංශෝධිත නව ගිවිසුම අත්සන් කිරීම චාම් උත්සවයක් සහිතව සිදුකෙරුණු බවත්, පසුව එය එරට කොංග්‍රසයේ සභාපතිවරයා වෙත ලබාදුන් බවත් විදෙස් වාර්තා පවසයි.
මීට පෙර පසුගිය සැප්තැම්බර් 26 වැනිදා ගිවිසුම අත්සන් කිරීමේදී පැවති උත්කර්ෂවත් බව මෙවර උත්සවයේදී දක්නට නොලැබුණු අතර, එවර ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන්, කලාපීය රටවල රාජ්‍ය නායකයන්ද සහභාගී වී තිබුණි.