වඳුරඹ පැවැත්වීමට සූදානම් කර තිබූ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්රචාරක රැලියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය තමන්ගෙන් ප්‍රශ්න කිරීම පදනම් විරහිත යැයි සුළු අපනයන බෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (18දා) සවස ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදීය.
ඒ මහතා සඳහන් කළේ, අටවැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ප්‍රතිඵල ගැන දන්නා එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් විසින්ම වේදිකාව කඩාදමා තමන්ගේ ආත්ම ගරුත්වය හානිකරන්න කටයුතු කරන බවයි.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ‘‘කවුරු කොහොම කිව්වත් නමවැනිදාට ජනාධිපති වෙන්නෙ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාම තමයි. බලන්න මම පළාත් සභා ඡන්දයේදී මනාප 120,000ක් ගත්තා. එත් කොම්පියුටර් ජිල්මාට් දාලා මගේ මනාප අඩුකළා. මේ මැතිවරණ කොමසාරිස්තුමා එදා මැතිවරණ කාර්යාලයේ හිටියා. එතුමා හොඳින් දන්නවා සිදුවුණේ මොනවද කියා. දැන් මහින්ද දේශප්‍රිය මහතා කියනවා කම්පියුටර් ජිල්මාට් දාන්නේ නැහැ එහෙම කරන්න බැහැ කියා. නමුත් මට එහෙම කළා. අන්න ඒ විදියට හරි 09 වැනිදාට ජනාධිපති වෙන්නෙ මහින්ද රාජපක්ෂ මහතාම තමයි."යැයි පවසා සිටියේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෛත්‍රීපාල සිරිසේන මහතා වඳුරඹ රැස්වීමකට කිසිදිනක අමාත්‍යවරයෙකු ලෙස නොපැමිණි බවයි.
‘‘එයා ඇමති කාලෙ බුදිය ගත්තා ආවේ නැහැ. එක්සත් ජාතික පක්ෂය සමග ගිවිසුම් ගැහුවට පස්සෙ මාසයක් යන්න කලින් මගේ බද්දේගම ආසනයට එනවා. මා සිතා සිටියේ මගෙ බුද්ධියට අනුව එතුමාව නිල්පාට මල්මාලයක් දාලා පිළිඅරගෙන සුබ පතලා එන්න. එහෙම හිටිය මම ස්ටේජ් එක ගිනි තිබ්බ කියලා මට චෝදනා කරනවා. පොලිස් ආරක්ෂාව යටතේ මේ ස්ථානය තිබුණේ.
අර කයිවාරු ගහන පොලිස් මාධ්‍ය ප්‍රකාශකට මම කියනවා මෙතනට ඇවිත් බලන්න කියා. මට බොරු චෝදනා කරනවා. එයාගේ නිලධාරීන් මේ ස්ථානයේ බීලා නිදාගෙන හිටියා. ඕ.අයි.සී මාරු කරන්න කියලා මම ඉල්ලනවා. මට මගේ චරිතය වටිනවා. අර මාධ්‍ය ප්‍රකාශක කියන මාධ්‍යයට බොරු කියන අය මේවා දන්නෙ නැහැ. මගෙ චරිතය බේරාදෙන්න කියලා මා පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. කොහොම කළත් පොලීසිය මාව හොයාගෙන එන්නෙ නැහැ. එයාලා දන්නවා මගේ ළඟ ආයුධ සන්නද්ධ අය ඉන්නවා. එයාලා මාව පොලීසියෙන් බේරගන්නවා. පොලිස් දෙපාර්තමේන්තුවේම අට දෙනෙක් මගේ වටේ ඉන්නවා. අපි චණ්ඩි නෙවෙයි. ඒත් මාව අරගෙන යන්න දෙන්නෙ නැහැ.
බන්දුලාල් බණ්ඩාරිගොඩගේ කණ්ඩායම, ආනන්ද ලැනරෝල්ගේ කණ්ඩායම, ආනන්ද කාරියවසම්ගේ කණ්ඩායම කියලා තුනක් බද්දේගම ඉන්නවා. එක්කෙනාට එක්කෙනා විරුද්ධයි. මේ අය කරගත්තු දේ මට පටවන්න එපා. වඳුරඹ තමන්ගෙ ස්ටේජ් එක ගිනි තිවුවේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක්. ඒ අය ඊට පස්සෙ මගෙ කාර්යාලයටත් ගිනි තිවුවා. මේ විදියට ගිනි තියන්න බැහැනේ. ඒවා ගැන සොයා බලන්න කියා මම පොලීසියෙන් ඉල්ලා සිටිනවා. අපි දූෂණයෙන් නොවෙයි සාධාරණ මැතිවරණයක් තියෙන්නේ. පොලීසිය කියනවා මට පොලීසියට එන්නලු කටඋත්තර දෙන්න කියලා. මට විරුද්ධව පැමිණිල්ලක් නැහැ. උසාවියට වාර්තා කරලා නැහැ. මාධ්‍යවලින් මට ගහනවා පමණයි. අපි නිර්දෝෂියි. පොලිස් පරීක්ෂණ පවත්වනවා බුද්ධි අංශයක් තියෙනවා. මේ තොරතුරු ගත්තම මා නිදොස් කොට නිදහස් කරන්න වෙනවා.
මා වරදකරුවෙකු කියනවා නම් මා නියෝජ්‍ය ඇමතිකම දීලා මන්ත්‍රීකමයි සංවිධායකකමයි තියාගෙන යනවා. ජනවාරි නව වැනිදා උදේට මම මගේ මන්ත්රීකමත් ජනාධිපතිතුමාට දී යනවා. මම වැඩිම මනාප ගත්තා. මම කුරුඳුවලට ගම්මිරිස්වලට ඇමති. ඒත් එදා 120,000ක් මම ගනිද්දී මට වඩා 50,000ක් අඩුවෙන් ගත්තු කෙනා ජ්‍යෙෂ්ඨ ඇමති. මට මේ ඇමතිකමෙන් කරන්න පුළුවන් කෙහෙම්මලක් නෑ. මේකත් බාර දීලා පාරට බහින්න මම සූදානම්. නමුත් මම ඉන්නේ ජනාධිපතිතුමා සමග. බැහැලා ඡන්දය කරනවා.
රාජිත කියනවාලු මම ස්ටේජ් එකට ගිනි තියනවා කියා. නමුත් මම එහෙම කරලා නැහැ කවදාවත්. රාජිත සේනාරත්නලා තමයි හොරකම් කළේ. දූෂණ වංචා කළේ. පක්ෂයෙන් පක්ෂයට පැන පැන යනවා. ඒ වගේ අයගෙ ෆයිල් ටික එළියට දාන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
හරි මම ගිහින් වඳුරඹ මෛත්‍රීගේ ස්ටේජ් එකට ගිනි තිව්වා කියන්නකෝ. මට මගෙ ආසනේට උඩින් හෙලිකොප්ටර යන එක මට නවත්වන්න බැරි වුණාට කාක්කෙක්වත් මට උඩින් පිහාඹන්නේ නැහැ. අපි අට වෙනිදා ගාල්ලෙ ඉහළම ගේමක් දෙනවා. එදාට අපේ ආසනයේ තමයි ජනාධිපතිතුමාට වැඩිම මනාප අරන් දෙන්නේ. අපි ඒවාට අවශ්‍ය සියලු දේ සූදානම් කරලා තියෙන්නේ. මේ පාර අපි වැඩි ඡන්ද ලක්ෂ 20ට වඩා මනාප අරගෙන අපි මේ ඡන්දය දිනනවා.
ඡන්දය ජනාධිපති පැරදුණත් තව අවුරුදු දෙකක් ජනාධිපති මහින්ද රාජපක්ෂ. අයියෝ සිරිසේනට සිදුවෙනවා තව අවුරුදු දෙකක් බලාගෙන ඉන්න. මෛත්‍රීට මේක දින සීයෙන් ඉවර කරන්න බැරි වෙනවා. අපේ ජනාධිපතිතුමා හයවැනි වතාවටත් දිනනවා. එතුමා ජීවත්ව ඉන්නකන් ජනාධිපති. මේ පාර අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ, මේක ප්‍රේමදාස, ජේ.ආර්, ලලිත්, චන්ද්‍රිකා, ඩී.එස්., බණ්ඩාරනායක මොඩල් නොවෙයි. දුටුගැමුණු මොඩල් එක. මේක ගුත්තිල මූසිල සටන වගේ. ගුත්තිල පඬිවරයාට වූ දේ තමයි අපේ ජනාධිපතිතුමාට සිදුවෙලා තියෙන්නේ.
2005 කැම්පේන් එකට මම බස් හයක් අලුතෙන් ගත්තා. ඒත් හයිවේ පර්මිට් එකක් නිශාන්තට දෙන්න ඕන කියන්න ජනාධිපතිතුමාට විතරයි මතක් වුණේ. බස් 16ක් විකුණලා තේ ෆැක්ටරි විකුණලා සල්ලි අරගෙන ජනාධිපතිතුමාගේ 2005 ඡන්දයට මම වියදම් කළා. ඒත් මම රුපියල් 50ක් වත් ගත්තේ නැහැ.
මම දැන් රට වටේ යන්නෙ නැහැ. තිස්ස අත්තනායකට ඇමතිකම් දෙද්දී මම නියෝජ්‍ය ඇමති වුණා කියලා මට දුකක් නැහැ. මම දුක, බය අඳුනන්නෙ නැහැ. ඒත් මට වේදනාවක් තියෙනවා. නමුත් මට ප්‍රශ්නයක් නැහැ. එකම දේ මේ ගම්මිරිස් ඇමතිකමෙන් මට වැඩක් නැහැ. ලබන මහ මැතිවරණයේදී මොන පක්ෂයෙන් ඉල්ලුවත් මම මනාප ලක්ෂ තුනක් අරගෙන පාර්ලිමේන්තුවට යනවා. මට දීපු තනතුර ගැන මම සෑහීමකට පත්වෙනවා.
තිස්ස අත්තනායක අපිට බැණ බැණ ඉඳලා ආපු ගමන් සෞඛ්‍ය ඇමති. මෛත්‍රීපාල අවුරුදු ගාණක් කඹුරලා සෞඛ්‍ය ඇමති වුණා. මටත් ලේසියි බුලත් අතක් දීලා මෛත්‍රී ළඟට ගිහින් ඇමතිකමක් ගන්න. පනින කෙනාට තමයි හැමදාම තනතුරු ලැබෙන්නේ. යූ.එන්.පී එකෙන් ආපු අයට තනතුරු දීලා අපේ මිනිසුන්ට කැපුණු නිසා තමයි කට්ටිය පැන්නේ.
දැන් ඉතින් අපේ සෞඛ්‍ය ඇමතිතුමා හෙට අනිද්දාට යූ.එන්.පී කාරයෝ රෝහල්වලට දාවි. එතකොට ඉතින් අපිට බුදුසරණයි. මම දේශපාලනය කරන්නෙ ජනාධිපතිතුමාට ඕනකමට නෙවෙයි. මට ඕන නිසා. එතුමාගේ පිටිපස්සෙන් ගියාට අපි ශ්‍රී ලංකාකාරයෝ. කවුද මට වටිනාකමක් දෙන්නෙ එතැනට මම යනවා. ඒත් මම ශ්‍රී ලංකාකාරයෙක්. පක්ෂය දාල යන්නෙ නැහැ. මෛත්‍රීපාල ළඟට යන්න මට වුවමනා නැහැ." යැයිද අවධාරණය කළේය.
සිරංගිකා ලොකුකරවිට, ජිනේෂ් නානායක්කාර