සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තාක්ෂණික හා විද්‍යානුකූල සාක්ෂි මත තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බවත්, ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා කියා පරීක්ෂණ කටයුතු අවසන් කර නොමැති බවත් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සඳහන් කළේය.
සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් ශිෂ්‍ය‘යෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව විවිධ චෝදනා එල්ල වුවත්, සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ සාධාරණ සැකයකින් බවයි. එහිදී යම් කෙනෙකුට අසාධාරණයක් සිදුවී තිබෙනවා නම් තමන්ට සාධාරණයක් සිදුකර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යාමට ඕනෑම කෙනෙකුට නිදහස තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන්නේ ස්වයංභාවයකින් යුතුව බවත්, එහිදී කිසිවෙකුටත් හිරිහැරයක් බාධාවක් සිදුකිරීමට පොලීසියට අවශ්‍ය නොමැති බවත් පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ පොලිස් නිලධාරීන් මෙහිදී වරදක් කර නොමැති බවයි.
පාසල් ශිෂ්‍යයෙකු සහ පෙර අත්අඩංගුවට ගත් සැකකරු ඔවුන්ගෙන් ලබාගත් DNA පරීක්ෂණ වාර්තා සමග අද (28දා) අධිකරණයට ඉදිරිපත් කරන බවත්, එහිදී මොවුන් තවදුරටත් රඳවා ගන්නවාද එසේත් නොමැති නම් ඇප මත මුදාහරිනවාද යන්න ගරු අධිකරණය තීරණය කරනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටිනා දුනේෂ් ප්‍රියශාන්ත නැමැත්තාට වේයන්ගොඩ උසාවියේ ගව සොරකම් කිරීම පිළිබඳව නඩු තුනකුත්, වයස අවුරුදු 15 ක දැරියක් පැහැරගෙන යාමට තැත් කිරීම පිළිබඳව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී වරදකරු වී වසරක සිරදඬුවමක් වසර 05කට අත්හිටුවා තිබීම සහ පුද්ගලයෙකුට පහරදී කඩුවෙන් කැපීමේ චෝදනාවක්ද තිබෙන බව මෙහිදී පොලිස් වැඩ බලන මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පැය 72ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි සැකකරු 26 වැනිදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, සැකකරු ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබිණි.
මේ අතර, සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටිනා දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබෙන බව වාර්තා වේ.
ගම්පහ බුදුවතුගොඩ ප්‍රදේශයේදී පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු පැය 72 ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිට පසුගිය 26 වැනිදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝම්බර් 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබිණි.
එම නියෝගයට අනුව සැකකරු මීගමුව බන්ධනාගාරයේ රැඳවීමට කටයුතු කළ අතර, ඔහු විශේෂ මැදිරියක රඳවා ඔහුට ජේලර්වරයෙකුගේ, සැරයන්වරයෙකුගේ සහ නියාමකවරයෙකුගේ ආරක්ෂාව ලබා දී තිබේ. සැකකරුට අනෙකුත් සැකකරුවන්ගෙන් එල්ලවිය හැකි තර්ජන සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙන බවද වාර්තා වේ.
මේ පිළිබඳව විමසීමට අද බන්ධනාගාර කොමසාරිස් රෝහණ පුෂ්පකුමාර මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළත් එය ව්‍යාර්ථ විය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහුවද සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.